Gossips

නගරාධිපතිනියට එරෙහිව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවක

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අද (24) නගර සභා පරිශ්‍රයේ විරෝධතාවක නිරත වුණා.
ඒ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින්.
කොළඹ මහ නගර සභාවේ මහසභා රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා.
එහිදී මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබාදෙන්නැයි එහි සාමාජිකයින් යළිත්වරක් නගරාධිපතිනියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දිගින් දිගටම ඉල්ලීම සිදුකළද නගරාධිපතිනිය ඊට ප්‍රතිචාර නොදක්වා ඇති අතර, පසුව ඇය විසින් කුලරත්න ගීකියනගේ සහ සම්පත් ප්‍රසන්න යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් සඳහන් කරමින් ඔවුන්ට සභාවෙන් ඉවත්ව යන ලෙස දන්වා තිබෙනවා.
ඒ අනුව එම පෙරමුණේ අනෙක් මන්ත්‍රීවරුන්ද අදාළ ක්‍රියාවට විරෝධය පළ කරමින් සභාවෙන් ඉවතට ගොස් නගර සභා ගොඩනැගිල්ලේ ඉදිරිපස සිට නගරාධිපතිනියට විරෝධය පලකළා.