Gossips

ධුරවලින් ඉවත්වූ 16 දෙනා තීරණයක් ගනී

ආගමික සහ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කර රජයෙන් ඉවත්විය යුතු යැයි නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට ඇමති ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ නියෝජිතයන් 16 දෙනා තීරණය කර තිබෙනවා.
අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා මේ බව කියාසිටියේ.
අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුනේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ කොළඹ පිහිටි නිවසේදීයි.
එහිදී ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුනා.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි දැනට ලන්ඩන් නුවර රැඳී සිටින ජනාධිපතිවරයා හමුවීම සඳහා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමටයි ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගොස් සිටින්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
එම රැස්වීමට පෙර ජනාධිපතිවරයා හමුවීමට හිටපු අමාත්‍යවරුන් දෙදෙනා පිටත්ව යෑම විශේෂත්වයක්.