Gossips

ධනංජයගේ පියා ඝාතනය ගැන පොලීසිය පාතාලය පිටුපස

රත්මලාන – ඥානේන්ද්‍ර පාරේ දී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම සිදුවූ අවස්ථාවේ අවටින් ලබාගත් සී.සී.ටී.වී දර්ශන මේ වන විට විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසනවා.
ගල්කිස්ස පොලීසියේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඒ අනුව මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඊයේ රාත්‍රී 8.30ට පමණයි.
ටී – 56 වර්ගයේ ගිනි අවි ඒ සඳහා යොදාගෙන ඇති බවට ද අනාවරණ වී ඇති අතර, ධනංජයගේ පියාගේ සිරුරේ වෙඩි පහර 12 ක් සලකුණු වී තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ද වන ධනංජය ද සිල්වාගේ පියා වූ 62 හැවිරිදි කේ. රංජන් ද සිල්වා ඝාතනයට ලක්වන අවස්ථාවේදී මිතුරන් කිහිප දෙනෙකු සමඟ කතාබහක නිරතව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ මිතුරන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මෙම වෙඩි තැබීමට පාතාල කල්ලියක් සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා.