Gossips

ධනංජයගේ පියාගේ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක් – CCTV දර්ශනත් පරීක්ෂාවට

රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊට පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති අතර, පවුලේ ඥාතීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගනිමින් පවතින බවයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
වෑන් රථයකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති අතර, ටී-56 වර්ගයේ ගිනි අවි ඒ සඳහා යොදාගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ධනංජයගේ පියාගේ සිරුරේ වෙඩි පහර 12 ක් සලකුණු වී තිබූ බව පොලීසිය සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ.රංජන්ද සිල්වා ඝාතනයට ලක්වන අවස්ථාවේදී මිතුරන් කිහිප දෙනෙකු සමඟ රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ කතාබහක නිරතව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ මිතුරන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඝාතනය සිදුවන අවස්ථාවේදී ඒ අවට සී.සී.ටී.වී. දර්ශනද උපයෝගී කරගනිමින් පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ.
රත්මලාන – වෙරළපාරේ පදිංචි නාගරික මන්ත්‍රී කේ. රංජන්ද සිල්වා මියයන විට 62 වන වියේ පසුවුණා.
සිය පියාගේ අභාවය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් චාරිකාවෙන් ද ඉවත් වී තිබෙනවා.
ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ වේගවත්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට සම වාර්තාවක් පිහිටුවීමට ද ධනංජය සමත් වූ අතර, ඔහු නැවතත් ටෙස්ට් කණ්ඩායමට තෝරා ගනු ලැබූයේ අඛණ්ඩව පිත්තෙන් දස්කම් දැක්වීම හේතුවෙන්.