Gossips

දේශීය ව්‍යාපාරිකයෙක් ඉහළ ලන්සුවක් තබද්දී EAP ආයතනය කුණු කොල්ලයට විකිණු බව ජනපති කියයි

ඊ ඒ පී ආයතනය විදේශීය සමාගමකට ලබාදීමේ ගනුදෙනුවේදී දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ බංකොලොත් වීමෙන් පසු මහබැංකුව යටතේ තිබු ඊ ඒ පී ආයතනය මිලදී ගැනීම සඳහා දේශීය ව්‍යාපාරිකයන් ද මිල ගණන් ඉදිරිපත් කර තිබු බවයි.
ඉන් වැඩිම මිල වූ අමරිකානු ඩොලර් මිලියන 70 ක පමණ ලන්සුව ඉදිරිපත් කර තිබුණේ දේශීය ව්‍යාපාරිකයෙක් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.
එහෙත් එය නොසලකා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමණාකරණ කමිටුව මගින් අමරිකානු ඩොලර් මිලියන 35 කට අදාළ ආයතනය සිංගප්පූරු සමාගමකට ලබාදුන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
එම ගනුදෙනුවෙන් පසු එම විදේශීය ආයතනය සහ ව්‍යාපාරිකයන් මෙරට දේශපාලනඥයන් කිහිප දෙනෙකුට මුදල් ලබාදී ඇතැයි පැහැදිළි සාක්ෂි පවතින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නා.
මෙය මෑත කාලීනව සිදුවු විශාල වංචාවක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.