Gossips

දේශීය කිරිපිටි මිලත් වැඩි කිරීමට සිදුවන බව, ඇමති හැරිසන් කියයි

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
ආනයනික කිරිපිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදුන්නා.
ඒ, කිරිපිටි මිල ඉහළ දමන ලෙසට කිරිපිටි සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් ඒ සඳහා සකස් කළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමඟයි.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ ගියා.
ආනයනික කිරිපිටි මිල මෙලෙස ඉහළ යාමත් සමඟ දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් කිහිපයකින් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ දේශීය නිෂ්පාදිත කිරිපිටි මිල ද ඉහළ දැමීමට අවශ්‍ය වුවත් ඊට අනුමැතියක් ලැබී නොමැති බවයි.