Gossips

දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම යළි ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම ගැටලුවකින් තොරව යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කරනවා.
දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් සමග අද (30) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවට පළතුරු බීම සහ බිස්කට් නිෂ්පාදන ආයතන හිමිකරුවන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍යවරයාල මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ජනතාව පරිභෝජනයට ගන්නා කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේදී භාවිත කරන සීනි සඳහා පවතින බදු අඩු කරන ලෙසයි.
ඒ අනුව කාබනික බීම සඳහා සීනි ග්‍රෑම් 6 ක් දක්වාද පළතුරු බීම සදහා සිනී ග්‍රෑම් 9 ක් දක්වාද බද්දෙන් නිදහස් කරනු ඇති.
පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 ක බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
මෙහිදී ව්‍යාපාරිකයින් පෙන්වා දී ඇත්තේ ඒ අනුව දැනට වෙළෙඳපොලේ පවතින පැණි බීමවල මිල සියයට 30 කින් පමණ අඩුකළ හැකි බවයි.
බිස්කට් නිෂ්පාදනය සදහා සීනි බද්දක් අය කිරීමට රජයේ කිසිදු අදහසක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ ජාතික ආර්ථික සභාවේදී කෙරුණු සාකච්ඡා අනුව ගත් තීරණ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙලෙස ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් බවයි.