Gossips

දේශපාලන මණ්ඩලයේ යෝජනාව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පිළිගනී – රවීට විරෝධය පළ කර ජ්‍යෙෂ්ඨයෙකු ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ නම් කළ නව නිලධාරි මණ්ඩලයට අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමැතිය හිමිවුණා.
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පෙරවරු 10 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වූ අතර, එය පැය දෙකකට වැඩි කාලයක් පැවැත්වීම විශේෂත්වයක්.
එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් පත් කෙරුණු අතර, නව මහලේකම්වරයා වන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.
අමාත්‍ය නවීන් දිසානායකට හිමිවුණේ පක්ෂයේ ජාතික සංවිධායක ධුරයයි.
ඊට අමතරව පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා තේරී පත් වුණා.
තවදුරටත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, උප නායකයා ලෙසත් කටයුතු කරනු ඇති.
කෙසේ වෙතත්, රවී කරුණානායක උප නායකයා ලෙස පත් කිරීමට විරෝධය පළ කර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් නැගිට ගියා.
පසුව පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවයි.
අනතුරුව, පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද කියා සිටියේ තමා ඉදිරියේදී ප්‍රතිසංවිධාන කටයුතු වල ප්‍රගතිය පිළිබදව පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ අද සිදුකළ ප්‍රතිසංවිධානවලින් අනතුරුව ඉදිරි මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකිදැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රී ගුණරත්න එහි නායකයින්ගෙන් ප්‍රශ්න කළා.
ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය අද දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැදවමින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවූ නව නිලධාරි මණ්ඩලයට දැඩි විරෝධය පළ කළා.
එහිදී ඔවුන් කියා සිටියේ පාක්ෂිකයින්ගේ ඉල්ලා සිටියේ පක්ෂ නායකත්වයේ වෙනසක් මිස අනෙකුත් තනතුරුවල වෙනසක් නොවන බවයි.