Gossips

දේශපාලන පක්ෂ මහමැතිවරණයට සැරසේ

ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ලබන ජනවාරි 5 වන දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව මහමැතිවරණය සඳහා පවතින සූදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකින් විමසා බැලීමක් සිදුකළා.
ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය තරඟ වදින ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බව එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.
එසේම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී මහමැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබදව අවසන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ තම පක්ෂය පෙරමුණක් ලෙස විවිධ විද්වතුන් සහ සිවිල් සංවිධාන එක්ව ඉදිරියේදී මහමැතිවරණයට තරඟ වදින බවයි.
ජනතා විමුක්ති පෙරමුණ මහමැතිවරණයට තරඟ වදින ආකාරය සම්බන්ධයෙන් පක්ෂය අද රැස්වී තීරණයක් ගන්නා බව එහි ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියා.
තම පක්ෂය මහමැතිවරණයක් සඳහා සූදානම් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියේ.