Politics Sri Lanka

දේශපාලන අර්බුදය හමුවේ ‘රුපියල’ තවත් කඩාවැටෙයි.

දේශපාලන අර්බුදය හමුවේ ‘රුපියල’ තවත් කඩාවැටෙයි.

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වේ.

දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේය. “මේ දවස් කිහිපය තුළ 3% – 3.5%ක අගයකින් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. තව ටික කාලයක් මේවිදියට රුපියලේ අගය අඩුවෙන ලක්ෂණ තමයි තියෙන්නෙ.

“2013 වසරේ සිට ශ්‍රී ලංකාවේ අපනයනය ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට පහත වැටෙමින් පැවතුනා. 2015 පත්වෙච්ච යහපාලන රජයටවත් මෙම පහල වැටීම නවත්වන්න බැරිවුනා”ආචාර්ය විජේවර්ධන වැඩි දුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයනය අතර වෙනස, නැතහොත් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 – 10ත් අතර ප්‍රමාණයක පවතින් බවත් ඔහු පවසයි.

“මේ හිඟය මෙතෙක් කල් තරමකින් හෝ පියවා ගත්තේ විදෙස් ශ්‍රමිකයන් එවන මුදලින්. එම ඉතිරිකිරීම් පසුගිය වසර දෙක තුළ ඇ.ඩො.බි. 6.5 – 7 අතර පැවතුනා. ඉන් පසුව වන හිඟය ශ්‍රී ලංකාව පියවගත්තේ විදේශ ණය මගින්. දැන් එය තවදුරටත් කළ නොහැකි මට්ටමක පවතිනව. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීමේ ක්‍රියාවළිය ආරම්භවී තිබෙනවා.” ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පැවසීය.