Gossips

දේශප්‍රේමී වෘත්තීකයන්ගේ සංසදයෙන් ආණ්ඩුවට චෝදනාවක්

රණවිරුවන් යුද අධිකරණයට ගෙන යාම සදහා අවශ්‍ය සියලූ අණපනත් රජය සකස් කර අවසන් බව දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
‘‘ වන්දි දෙන්න කියන්නේ කාටද? ත්‍රස්තවාදීන්ට ඒ කියන්නේ තාම මේ වැඩපිළිවෙළ ප්‍රබළ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අන්තර්ජාතික අධිකරණවලට ලංකාවේ රණවිරුවෝ ගෙනියන්න අවශ්‍යකරන විදිහට සියලුම පනත් සකස් කරලා ඉවරයි. එහෙම තියෙද්දී ඇමරිකාව අන්තර්ජාතික අධිකරණය ගැන මොකක්ද කියන්නේ. ඇමරිකාවේ ජනාධිපතිගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියනවා අන්තර් ජාතික අධිකරණ අපේ රණවිරුවො ගැන ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා. අපි ඒ ගොල්ලන්ට තදින්ම කියනවා අපේ වැඩවලට ඇඟිල්ල ගහන්න ආවොත් තමුන්නාන්සේලාට තියෙන සියලු ආධාර කපා හැරලා තමුන්නාන්සේලා ඇමරිකාවෙනුත් පිටුවහල් කරනවා. අපි හිතන විදිහට ජාත්‍යන්තර යුධ අධිකරණය දැනටමත්ම මැරිලා. අපි ඒ අයව තවදුරටත් ගණන් ගන්නේ නැහැ කියලා. අන්න තමුන්ගේ රටේ රණවිරුවෝ ගැන වචනයක් කිව්වාම වෙන රටවල් හැසිරෙන විදිහ’’
මේ අතර යුද ගැටුම්වලින් විපතට පත්වූවන්ට වන්දි ලබාදීමේ කාර්යාලය කඩිනමින් පිහිටුවීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව මහා බ්‍රිතාන්‍ය පවසනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අනුග්‍රහය දක්වන රටවල් සමඟ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවට අනුග්‍රහය දක්වන ජර්මනියල මැසඩෝනියාවල මොන්ටිනීග්‍රෝ සහ මහා බ්‍රිතාන්‍යය ඒකාබද්ධව නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටිය සමඟ ඉදිරියට ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සතුටුදායක බවයි.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සතුට පළ කරන එම රටවල් පෙන්වා දෙන්නේ එහි ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා දිරිගන්වන බවයි.
යෝජනාව පරිදි වන්දි ගෙවීමේ කාර්යාලයද කඩිනමින් පිහිටුවනු ඇති බවට විශ්වාසය පළ කරනවා.
කෙසේ වෙතත් අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පියවර අපේක්ෂිත ප්‍රමාණයට වඩා මන්දගාමී බවයි.
ත්‍රස්ත මර්දන පනත වෙනුවෙන් අන්තර් ජාතික තත්ත්වයන්ට සරිලන වෙනත් නීති සම්පාදනය කිරීම බලය බෙදා හැරීම සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධන කටයුතු මන්දගාමී වීම කෙරෙහි එම නිවේදනයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර වියත්මඟ සංවිධානය ඕමනයේ මස්කට් නුවර පැවැත්වූ සම්මන්ත්‍රණයකදී අදාළ ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.