Gossips

දෙහිඅත්තකණ්ඩිය සභාපති ධුරය ඉල්ලා සභිකයෙකු උපවාසයේ

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ඉල්ලා ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වනවා.
ඒ, නවමැදගම නගර මධ්‍යයේ පිහිටුවා ඇති අට්ටාලයක සිටයි.
අජිත් රෝහණ සිල්වා නම් වන ඔහු පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී නවමැදගම කොට්ඨාශයෙන් තරඟ කර ජයග්‍රහණය ලබා තිබෙනවා.
ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ ලේකම්වරයෙකු මැදිහත් වී සභාපති තනතුර නවක මන්ත්‍රීවරයෙකුට ලබාදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය භාර ගැනීම සඳහා එකම සුදුසුස්සා තමන් බවයි උපවාසයේ නිරත අජිත් රෝහණ සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගෙන් කළ විමසීමකදී ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.
මේ අතර, පළාත් පාලන මැතිවරණයේදී අනුරාධපුර – නැගෙනහිර පළාත නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට ශ්‍රාවස්ථිපුර කොට්ඨාශයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයා සහ ඔහුගේ ආධාරකරුවෙකු විසින් සිදුකළ පහරදීමකින් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවී ඇති මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි තරුණයෙක්.