Gossips

දෙසතියක සේනා මර්දන මෙහෙයුමක් – ගොවීන් දෙවියන් යදී

අද සිට සති දෙකක කාලයක් ජාතික වැඩපිළිවෙලක් සේ සළකා සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
අම්පාර, අනුරාධපුරය, මොණරාගල, කුරුණෑගල, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාවට මෙම දළඹු උවදුරින් දැනට දැඩි හානි සිදුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට අමතරව මාතර, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාවලටද මෙමඟින් හානි සිදුව තිබෙනවා.
මෙවර දිවයින පුරා බඩඉරිඟු හෙක්ටයාර 81,000 ක් වගා කර ඇති අතර, ඉන් හෙක්ටයාර 48,000 කට වැඩි ප්‍රමාණයක් සේනා දළඹු උවදුරින් හානිවී ඇති බවටයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ.
අනුරාධපුරය, අම්පාර, මොණරාගල ආදී දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාකළ ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සේනා දළඹු උවදුර හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවටයි.
තම වගා හානි සඳහා රජයෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙසටද ඔවුන් ඉල්ලා සිටියා.
එසේම දිනකට බඩ ඉරිඟු කරල් 300ක් අලෙවි කළ නමුත් පාරිභෝගිකයින් බඩ ඉරිඟු මිලට නොගැනීම නිසා එය 50 දක්වා අඩු වී ඇති බවට ගොවීන් පවසනවා.
බඩඉරිඟුවලට අමතරව උක් වගාවටද සේනා දළඹුවන් බෝවී ඇති බවටයි වාර්තාවන්නේ.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විෂයභාර අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේ සේනා උවදුරින් හානිවූ බඩඉරිඟු වගාවන් පිළිබඳව සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පසුව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් යළි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද සිට සේනා දළඹු උවදුර මැඩපැවැත්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර සේනා දළඹු උවදුර මැඩපවත්වන ලෙස ඉල්ලමින් අනුරාධපුරයේ ගොවීන් පිරිසක් දේව කන්නලව්වක නිරතවුණා.