Gossips

දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 113ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 113ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුනා.
තරගය පැවැත්වුනේ සෙන්චූරියන් හී සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේදී.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ලසිත් මාලිංග පන්දු යැවීම තෝරා ගත්තා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් ක්වින්ටන් ඩිකොක් සහ රීසා හෙන්රික්ස් පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 91ක්.
ක්වින්ටන් ඩිකොක් පන්දු 70 කින් ලකුණු 94ක් ලබා ගත්තා.
නායක ෆැෆ් ඩුප්ලේසී ලකුණු 57යි.
දකුණු අප්‍රිකාව වරෙක කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 220 ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත තරගයට පිවිසුනේ ලකුණු 31ක් තුළ ඔවුන්ගේ අවසන් කඩුලු 6ම දවා ගනිමින්.
මේ අනුව පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 251 කට සීමා වුණා.
සිය 150වන එක්දින තරගයට ක්‍රීඩා කරන තිසර පෙරේරා කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 32යි පන්දු2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 138ක් පමණයි.
ඕෂධ ප්‍රනාන්දු ලකුණු 31 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් සහ තිසර පෙරේරා ලකුණු 23 ක් ලබාගත්තා.
කගිසෝ රබාඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලුවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා ඩර්බන්හිදී පැවැත්වීමට නියමිතයි.