Gossips

දෙමළ සන්ධානය, විපක්ෂ නායක ධුරයට උසාවි යෑම අත්හරී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (04) පැමිණියා.
ඒ, නව වසර වෙනුවෙන් එහි රාජකාරියේ නිරත පිරිසට සුබපැතීම සඳහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එම අවස්ථාවට එක්වූ බව එහි සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.
මේ අතර උතුර පළාතේ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවගේ සුවදුක් විමසීම සඳහා කථානායක කරූ ජයසුරිය ඇතුලු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.
ඊට එක්වූ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ විපක්ෂ නායක ධුරය ලබාගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ බලාපොරොත්තුවක් දෙමළ ජාතික සන්ධානයට නොමැති බවයි.
කෙසේ වෙතත් විපක්ෂ නායක කාර්යාලය භාරදීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව නිතීමය පියවර ගැනීමට කථානායකවරයා පියවර ගත යුතු බව කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන සදහන් කළා.
මේ අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලය, ලබන සතිය තුල ලබාගැනීමට කටයුතු කරන බවයි.