Gossips

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, අගමැති හමුවේ

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම පිළිබදව අද පස්වරුවේ අවසන් තීරණයක් ගන්නා බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.
එහි නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
එම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට අමතරව වතු හාම්පුතුන්ගේ සංගමය ඇතුළු වතු කම්කරු සංගම් ද එක්වීමට නියමිත බව සඳහන්.
රුපියල් දහසක් දක්වා වැටුප වැඩි කරන ලෙස වතු කම්කරු වෘත්තිය සමිති මෙන්ම සිවිල් සංවිධාන අරගල කළද පසුගියදා අත්සන් කළ ගිවිසුුමේදී තීරණය කෙරුණේ එය රුපියල් 700 දක්වා වැඩි කිරීමටයි.
කෙසේ වෙතත් එම ගිවිසුමට පසුව පාර්ශව ගණනාවකින් විරෝධය එල්ලවුණා.
එම පාර්ශව අතර, රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද වනවා. ඔවුන් මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ සාර්ථක විසඳුමක් ලබා නොදෙන්නේ නම් අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තමන් සූදානමින් සිටින බවයි.
මීට පෙර දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පසුගිය සිකුරාදා අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, වතු කම්කරු වැටුප් වැඩිකිරීමේ ගිවිසුම ගැසට් කිරීම අද දිනය දක්වා කල් දැමීමට එහිදී තීරණය කෙරුණා.