Gossips

දෙමළ දේශපාලඥයෙකු ඝාතන සැලසුමක් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්ෂණ

දෙමළ දේශපාලඥයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු ඇතුළු 12 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දුන්නා.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. සංවිධානය වළ දමා තිබූ අවි ආයුධ පාතාල සමාජිකයන්ට ලබා දෙන බවට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ඉන් එක් සැකකරුවෙකුගේ කිලිනොච්චියේ පිහිටි නිවසේ වළ දමා තිබියදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ගිනි අවි කිහිපයක් සොයාගත් බවයි.
එම ආයුධ දෙමළ දේශපාලනඥයෙකු ඝාතනය කිරීමේ සැලසුමක් සඳහා යොදා ගැනීම සඳහා වළ දමා තිබූ බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කර ඔවුන් ලබන 26 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.