Gossips

දෙමළ ජනතාවට ආර්ථික නිදහස දෙන බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

තමා ජනාධිපති වුවහොත් ආර්ථික නිදහස අත්කරදීම දෙමළ ජනතාවට ලබාදෙන මුල්ම විසඳුම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එම කටයුතු සිදුවූ නමුත්, දෙමළ ජාතික සන්ධානය සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඊට බාධා කළ බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ඊයේ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එවකට ආරාධනා කළ නමුත්, ඔවුන් එම සාකච්ඡා සඳහා නොපැමිණි බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.
මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි.
නව ව්‍යවස්ථාවකට වඩා, එහි සංශෝධන සිදුකළ යුතු බවයි ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට මුල්තැන ලබාදිය යුතු අතර, අනෙක් ආගම්වලට සම අවස්ථාව දිය යුතු බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නා.
පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ පොලිස් බලතල ලබාදුනහොත් ගැටළු රැසක් ඇතිවිය හැකි බවයි.