Gossips

දෙදෙනෙකුට මරු කැඳවමින් මඟ වැරඳුණු මෝටර් රථය (ඡායාරූප)

නුවරඑළියේ සිට හලාවත බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිදුල – බෙයාර්විල් ප්‍රදේශයේදී කොත්මලේ ජලාශයට පෙරළීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම මෝටර් රථය අද (18) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් මිය ගිය කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ මළ සිරුරු මේ වන විට ගොඩට ගෙන තිබෙනවා.
මෝටර් රථයේ තිබි කුඩා ළමයෙකුගේ සනීපාරක්ෂක තුවායක් හමුවි ඇති අතර ඒ පිළිබදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් ජලාශයට වැටුණු තවත් පුද්ගලයින් සිටින්නේ ද යන්න සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මිය ගිය දෙදෙනා ගම්පහ – නැදුම්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තු වටරවුම අසල – නිපොන් මාවත ප්‍රදේශයේදී දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් ද අද උදෑසන පොලීසිය සොයා ගත්තා.
එමෙන්ම හොරණ – වවුලගල ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ 59 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් සොයා ගැනුනේ ද අද දිනයේදියි.
පසුගිය 03 වනදා සිට මෙම කාන්තාව අතුරුදන්ව සිටි බවට තොරතුරු ලැබී ඇති අතර, අනියම් සබඳතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ