Politics Sri Lanka

දූෂණ වංචා පිළිබඳ තීරණ ගැනීමට රාජිත, ස්වාමිනාදන්, අජිත් පෙරේරාගෙන් යුත් කමිටුවක්

දූෂණ වංචා පිළිබඳ තීරණ ගැනීමට රාජිත, ස්වාමිනාදන්, අජිත් පෙරේරාගෙන් යුත් කමිටුවක්

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කරලීම සඳහා අමාත්‍යවරුන්වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් අද (26) පත් කර තිබේ.

නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත.

අද උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

දූෂණ හා වංචා මැඩලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලබා දී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.

අපරාධ යුක්තිය පිළිබඳව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් හා තලතා අතුකෝරළ හා සාගල රත්නායක යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ අභියාචනා පිළිබඳව කටයුතු කඩිනම් කිරීම පිණිස තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර හා සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් යුතු කමිටුවක් ද පත් කර ඇත.

පොලීසිය විසින් පවරන නඩුවලට අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ යුතු බව මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත ජයසුන්දර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

කෙසේ නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ ඩී.එම්. ස්වාමිනාදන් මහතා වත්මණ් ආණ්ඩුවේ නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයාව සිටි සමයේ අමාත්‍යංශය යටතේ පවතින ආයතන 7ක් එක ගොඩනැගිල්ලකට ගෙන ඒමට යැයි පවසමින් දැවැන්ත වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන්ද කෝප් විමර්ශණවලදී අර්ජුන් ඇලෝසියස් ඇතුළු දූෂිතයන් සමග ගණු දෙනු කළ බවට අජිත් පී පෙරේරා මහතාටද අවිජාවාරම්වල නිරතවූ බවට චෝදනා එල්ලවී තිබෙන සුප්‍රකට ඇවන්ගාඩ් ආයතනයේ නීති උපදේශකයෙකු ලෙස පොලීසිය භාර ඇමතිවරයාව සිටියදී කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ලවී තිබෙන පසුබිමක ඔවුන් යොදවා වංචා දූෂණ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සකස් කිරීම විහිළුවක් බවයි.

එමෙන්ම රාජිත් සේනාරත්න මහතාට එරෙහිවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ පැමිණිලි ගොනු වී ඇති අතර පොලිසය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද බැඳුම්ක වංචාවට අදාළව සෘජුවම චෝදනා එල්ල වී තිබේ.