දූෂණයෙන් තොර ගමක් වෙනුවෙන් කලාකරුවෝ එක් වෙති
වෙනසක ඇරඹුම සංවිධානය සමග එක්වී සිටින කලාකරුවන් “දූෂණයෙන් තොර ගමක් වෙනුවෙන්” යන තේමාව යටතේ “වෙනසක් වෙනුවෙන් කලාකරුවෝ” ලෙස ඊයේ (02) සෝලිස් උත්සව ශාලාවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
මෙම් අවස්ථාවට සාහිත්‍යවේදී කමල් පෙරේරා, ජිප්සීස් නායක සුනිල් පෙරේරා, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, සාහිත්‍යවේදී ගුනසේන විතාන, සංගීතවේදී නදීක ගුරුගේ, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ප්‍රවීන කැමරා අධ්යක්ෂ ධනුෂ්ක ගුණතිලක, සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රවීන රංගන ශිල්පී සරත් කුලාංග, චිත්‍රපට අධ්යක්ෂ ප්‍රියන්ත කළුආරච්චි, ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුරංග ලක්මාල් සෙනෙවිරත්න, ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා යන කලාකරුවෝ අදහස් දැක්වූහ.
චිත්‍රපට අධ්යක්ෂ හෙක්ටර් කුමාරසිරි, ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව, යොවුන් රංගන ශිල්පී තුසිත ලක්නාත්, ප්‍රවීන රංගන ශිල්පී ජනක රණසිංහ, ප්‍රවීන රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ, යොවුන් රංගන ශිල්පී ඉෂාර වික්‍රමසිංහ ඇතුළු කලාකරුවෝ පිරිසක්ද ඊට සම්බන්ධ වී සිටියහ.
එහිදී මාධ්‍ය ඇමතූ සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා…
“වෙනසක් වෙනුවෙන් කලාකරුවෝ සංවිධානය ඔබ හමුවට පැමිණෙන්නේ කලාකරුවන් විදිහට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගත තීරණය කුමක් දැයි පැහැදිළි කරන්න. මේ විදිහට අපි වෙනසක් වෙනුවෙන් කලාකරුවෝ නමින් සංවිධානයක් ගොඩ නගලා ඔබව ආමන්ත්‍රණය කරන්නේ, ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ගමේ මැතිවරණය, පුංචි මැතිවරණය වුනත් අප රටේ අනාගත දේශපාලනයේ සංධිස්ථානයක් ලෙස හදුනාගෙන තිබෙන නිසයි. ඒ වෙනුවෙන් අපි වෙනසක ඇරඹුම නමින් සම්මන්ත්රණ මාලාවක් දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබුවා. අපේ රටේ වෘත්තිකයන්, බුද්ධිමතුන් සහ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල, මාතර, කුරුණෑගල පැවති මෙම සම්මන්ත්රණ මාලාව පසුගියදා මහරගම පැවති සමුලුවෙන් සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වුණා. එහි තවත් එක් දිගුවක් ලෙස තවත් එහි ප්රකාශනයක් ලෙස කලාකරුවන් වන අප මෙම මාධ්‍ය සාකච්ඡුාව කැඳවා තිබෙනවා. අපි මුලින්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම මැතිවරණය සුළු කොට නොතකා අපේ රට වෙනස් කරන්න හොඳ අවස්ථාවක් කර ගන්න කියලා.
ආසන්නම සිදුවීමක් ගත්තොත් පසුගිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රවී කරුණානායක මහතාගෙන් බැඳුම්කර වංචාව සම්බන්ධව පක්ෂයේ කමිටුව මඟින් ගත් තීරණය පිළිබඳ ඔහුගේ අදහස විමසූ විට සිනා මුසු මුහුණින් පවසනවා බලන්නකෝ ඡන්දෙන් පස්සේ මොකද වෙන්නේ… කියලා. මේ ප්‍රකාශයම ප්‍රමාණවත් දූෂණය වංචාව පිළිබඳ අවබෝධ කර ගැනීමට. මැතිවරණ වේදිකාවේ මහ ගැඹුරින් කරන මෙවැනි ප්‍රකාශ හුදෙක් ඡන්දය ලබා ගැනීම සඳහා වන අවස්ථාවාදී ප්‍රකාශ බව අප තේරුම් ගතයුතුයි.
මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම දූෂණයට එරෙහි වෙනවා යැයි ප්‍රතිඥා දෙනවා. ජනාධිපතිතුමාත් පහු ගිය දවසක ප්‍රකාශ කළා එතුමා දූෂණයට එරෙහිව කඩුව අතට ගත් බව. කලාකරුවන් විදිහට අපි බලාපොරොත්තු වුණේ එතුමා 2015 ජනාධිපති වූ විගසම කඩුව අතට ගනියි කියලා. ඒ උනත් එතුමා මැතිවරණය ඉදිරියේ මෙසේ කටයුතු කරන බව අපට පෙනී යනවා. අපි තවදුරටත් මේ රැවටීමේ ගිලීමට, සංදර්ශනවලට මුළාවීමට අවශ්‍ය නැහැ. දැන්වත් මේ රට වෙනස් මාර්ගයක ගමන් කිරීමට අවස්ථාව උදාකර ගනිමු. මෙම ස්ථානයේ නොමැති වුණත් කලාකරුවන් විශාල ප්‍රමාණයක් ප්රකාශනයට අත්සන් තබා අපිට සහය පළකර තිබෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙනුත් අප ඉල්ලා සිටිනවා මෙවර මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් හැකි තරමින් ඔබේ පළාත් පාලන ආයතනවලට පත් කර ගන්නා ලෙස. වංචාව දූෂණයට එරෙහි සැබෑ ජන හඬ ඉදිරියට ගෙන යන්න කියලා. අපි එහෙම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හැටියට නෙවෙයි නිදහස් කලාකාරුවන් හැටියට. එහෙමත් නැත්තන් මේ රටේ වෙනසක් බලාපොරොත්තු වන කලාකරුවන් හැටියට. අපි එසේ කියන්නේ මේ මොහොතේ ප්‍රායෝගිකව දූෂණයෙන් වංචාවෙන් තොර ගමක් සැදීමට හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් වන බව අපි දකින නිසායි.”
සාහිත්‍යවේදී ගුනසේන විතාන මහතා…
“අවුරුදු 70ක දේශපාලනයක්, එතරම් අතීතයක රටේ විනාශයක් ගැන අද කතා කරනවා. ඒ අවුරුදු හැත්තෑවේ දේශපාලනයට සම්බන්ධ වුණු අත්දැකීම් තිබෙන කෙනෙක් විදියට මම කතා කරන්නේ. මම ජනතා විමුක්ති පෙරමුණ ගැන මුල සිටම සංවර්ධනාත්මක නිරීක්ෂණයක යෙදී හිටපු ලේඛකයෙක්. මගේ ලේඛන කටයුතුවලදීත් මම ජවිපෙ සමඟ සුහද සංවාදයක යෙදුණා. මගේ දේශපාලන දැක්මට පෙනෙන විදියට දූරදර්ශී ලියවීමක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිස වෙනත් වාමාංශික යැයි කියාගන්නා සංවිධානවලට නෙවෙයි. මම පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ පිටුපසින් ඇවිත් පසුගිය අවුරුද්දක එකහමාරක කාලයක් තුළ ඔවුන් සමඟ සමව ගමන් කිරීමට පටන් ගත්තා. මගේ පුස්තකාලයෙන් බාගයක් මම පරිත්‍යාග කළා ජවිපෙ තරුණයින්ට කියවන්න. මගේ දැක්ම අනුව මේ රට භාරවෙන්නේ තරුණයින්ට. මේ රටේ ඉතිහාස වංශකතාව ගැන විමර්ශනය කරනකොට පැරණි පරපුරට ආඩම්බර වෙන්න පුළුවන් කමක් නැහැ.
අපේ රටේ අනාගතය පැවරෙන්නේ විප්ලවවාදී තරුණයින්ට. මේ රට වෙනස් කරන්න අධ්‍යාසයෙන් ඉන්න තරුණයින්ට. අපේ ධර්මද්වීපය අද දූෂිත රටක් බවට පත්වෙලා තිබෙනවා. ඒ තත්වයට අපේ රට පත්කළේ පන්සල, පල්ලිය, කෝවිල් නෙවෙයි දේශපාලකයින්. අපේ ඡන්ද දායකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා ගමට රතු කොඩියක් නගරයට රතු කොඩියක් රටට රතු කොඩියක් ඕන කියලා. රතු කොඩියක් නැත්නම් ගමක් අනාථයි. නගරයත් අනාථයි. රටත් අනාථයි. මේ සංකේතය පදනම් කරගත්තු ඡන්ද දායකයින්ගේ නියෝජනයක් තුලින් මේ රට දූෂිතයින්ගෙන් තොර රටක් බවට පත්කළ හැකියි. මට මතක් වෙනවා ත්‍රිපිටකයේ එක්තරා සඳහනක්. බුද්ධකාලයේ පාලනය ගැන කියනවිට සඳහන් වෙනවා දූෂණයට ලක් වූ පුද්ගලයා ගමෙන්, නගරයෙන් නෙරපනවා. අන්තිමේදී රටෙන් නෙරපනවා කියලා. ඒ නිසා දූෂණය වූ පුදගලයින් පමණක් නෙවෙයි දූෂණයට ලක්වූ පක්ෂත් රටින්ම නෙරපන්න මේ අවස්ථාව බලයක් ලෙස යොදාගන්න ඕනෑ. හැම ගමකටම රතු කොඩියක් කියන සංකේතයෙන් තරුණ රුධිරයට රට පාලනය කරන්න අවස්ථාවක් ලබාදෙන්න ඕනෑ. ඒ සඳහා ඇති එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණයි. අද නව වම ජනතා විමුක්ති පෙරමුණයි. අපේ රටේ ජනතාවගේ මගපෙන්වන්නා ජනතා විමුක්ති පෙරමුණයි. ඒ සඳහා මේ මැතිවරණය අවස්ථාවේදී උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙස අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා…
“පැහැදිලිව කියනව මම කවදාවත් ජෙවීපි කාරයෙක් වෙලා ඉදලත් නැහැ. දැනටත් ජෙවීපී සාමාජිකයෙක්වත් නෙවයි. ඇත්ත ඇති සැටියෙන් බලන්න මිනිස්සුන්ට පුරුදු කරන්න. තාමත් මේ රටේ මිනිස්සු බාග වෙලාවට අසරණභාවය හින්ද වෙන්නත් ඇති ඇත්ත ඇති සැටියෙන් දැක්කම තමා යම්කිසි වෙනසකට නිතැතින්ම යොමු වෙන්නෙ.
ඇත්ත මොකක්ද? නිදහස ලබල අවුරුදු 70යි. ඒක ඇත්තනෙ. 48 ඉදන් 2018 වෙනකන් අවුරුදු 70ක්. එතකොට අවුරුදු 70කට පස්සෙ අපි ලෝකෙටම ණයයි. ඒකත් ඇත්තනෙ. අවුරුදු 70කට පස්සෙ පුලුවන් තරම් මෙහෙ ඉන්න දරුවො පිට රටවල්වලට යන්න තමයි ආස. ඒකත් ඇත්තනෙ. අවුරුදු 70කට පස්සෙ දරුවෙක් ඉස්කෝලෙකට දා ගන්න තාත්තල අම්මලා පුදුම විදිහට දුක් විදිනවා. ඒකත් ඇත්තනෙ. අවුරුදු 70කට පස්සෙ මේ රටේම කොරියන් භාෂාව පවා උගන්නනවනෙ. නොකිය කියන්නෙ මේ රටේ උබලට තැනක් නැහැ කොහේහරි පලයල්ල කියන් එකයි. ඒ කියන්නෙ ගෙදර තාත්තා හරියට පුතාට කියනව අර එහා ගෙදර ඇන්ටිලෑ ගෙදර පොඩ්ඩක් තනකොල ටික කපලදීල එහෙන් මොකක්හරි කෑමක් කාපන්. අපේ ගෙදර මොනවත් නැහැ. ඒ විදිහෙ කතාවක්. මේ ඇත්ත වසන් කරන්න බැහැ.
දේශපාලන තර්ක එක එක විදිහට ගේන්න පුළුවන්. ඉතිං මේ අවුරුදු 70ක් කරපු පක්ෂ දෙකක් හිටියා. එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි. මේ කවුරු කොහොම කිව්වත් අරය නම් මෙහෙම කෙරුව මෙයා නම් මෙහෙමයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තය මෙහෙමයි. මොනව උනත් රාජපක්ෂ මහත්තය මෙහෙමයි. මොනා කිව්වත් 70ක් දිව්වෙ මේ පක්ෂ දෙක. ඒ 70කට පස්සෙ තමයි අපි මේ විදිහට මේ කතා කරන්න සිද්ද වෙලා තියෙන්නෙ. අද මොන මොන අර්ථකතන කෙරුවත් 70කට පස්සෙ ඉතාමත් දුක්කිත තත්වයක ඉන්නෙ. මුළු ලෝකයම ණය තත්වෙකට පත්වෙලා ඉන්නව ලංකාව. හැබැයි කයිවාරුව. අඩුවෙලානම් නැහැ. 2500ක ඉතිහාසය ගැන තියෙන කයිවාරුවයි තාම විශිෂ්ඨ අන්දමින් හරී විශාල විදිහට ධර්මය ගැන කතා කරනව. ආගම් ගැන කතා කරනවා. කිසිම ධර්මයක් මම නම් දකින්නෙ නැහැ. මේ රටේ ඒකට හේතුව ඉහළ පාලනය කරපු දෙකම ඉතාම නින්දිත අයුරින් නීතිය කියනඑක තමාගෙ අතට අරගෙන තමාට ඔන ඔන විදිහට තාමත් එහෙමයි. තමාට ඔන විදිහට නීතිය හසුරුවන්න ගිහාම එවැනි රටකට කිසිම දාක සෙතක් සිද්ද වෙන්නෙ නැහැ. ඒව හොදටම තමුන්නාන්සෙලට පිටරටවල්වල ක්‍රමවේදයන් පොඩ්ඩක් බැලුවනම් තේරෙනව ඇති. අර ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්තයක හිටපු ලොක්ක ආණ්ඩුවේ සල්ලිවලින් වයින් බෝතලයක් ගත්තයි කියල, වයින් බෝතලේ ගත්ත එක ගැන දුන්නෙ නැහැ කියල, වයින් බෝතලේ ගැන කිසි දෙයක් කිව්වෙ නැහැ කියල ඒ වයින් බෝතලේ ගැන මාධ්‍යවේදීන් ප්‍රෂ්ණ කෙරුව. එයා ඉල්ලා අස් වුනා. ඒකයි මා දකින ධර්මය. ධර්මය කියන්නෙ නිකං පිලිම ටිකක් හදාගෙන ගිහිල්ල එතන ධර්මයක් නැහැ. ධර්මය කියන්නෙ යම් කිසි කෙනෙකුට මිනිසාගෙන් මිනිසාට සේවයක් වෙන තැන. එතන ධර්මයක් තියෙනවා.
අද තියෙන නගර සභා වල කිසිම දෙයක් කරගන්න පුළුවන්ද ඔබ හිතන හැටියට පගාවක් දෙන්නෙ නැතුව. කවුද එතකොට ඒ නගරසභාවලට පත්වෙලා ආවෙ මේ පක්ෂ දෙකේ උදවිය. ඉඩමක ගෙයක් හදන්න යනවනං ඒකෙ ප්ලෑන් එකක් පාස් වෙයිද. පගා දෙන්න කැමති නැති උදවිය ඉන්නව. දැනටත් ඉන්නව මගෙ යාළුවො කීප දෙනෙක්. ඉතිං ඒ ගොල්ලො කියන්නෙ සුනිල් අයිය දැනට, දැං මාස අටක් වෙනවා, මගේ එකට දැං අවුරුදු එක හමාරක් වෙනවා තාම පාස් කෙරුවෙ නෑනෙ. එතකොට මේ උදවිය මේ පක්ෂ දේකේ උදවිය තමයි මේවට තේරී පත්වෙන්නෙ බොහෝදුරට හැමදාම වගේ එහෙමයි. එතකොට ඒ ප්‍රාදේශීය සභා මට්ටමේ පලාත් සභා මට්ටමේ.
70ක් ගියා එක පලාත් සභාවකින් රුසියාවට තවත් පලාත් සභාවකින් ගියා 65ක්ද කොහෙද මන් හිතන්නෙ බැංකොක් තවත් 35ක්ද කොහෙද ගියා තවත් රටකට. මේ තියෙන මුදල් ඔක්කොම විනාස කරනවා. හැබැයි දැක්කම බැලුවම එයාලගෙ ජීවන තත්වය නම් උඩට ඇවිල්ල තියෙනවා. එදා හිටියෙ පොල් අතු ගේක නං අද ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙලා ආවට පස්සෙ අද බොහොම හොද ෂෝක් ගෙයක් තියෙනව. එයාගෙ දේවල් එයාගෙ නෝනගෙ දේවල් දරුවන්ගෙ දේවල් ඒ දේවල් උඩට ඇවිල්ල තියෙනව. එතකොට මේ රටේ සෑම කෙනෙක්ම දැන ගත යුතුයි කැත දේවල් කැතයි. නමුත් ඒවට කැතයි කියල අදටත් කියන්න කැමති නැහැ. ව්‍යවස්ථාව වෙනස් කරල සදහටම බලේ ඉන්න හදන එක කැතයිද ලස්සනයිද? පොඩ්ඩක් හිතන්න බලන්න. නිකං මෝඩයෙක් වගේ ගිහිල්ල මෙයා තමයි තමයි අහවල් දේ කෙරුවෙ කියල නෙවෙයි. එතකොට එවැනි දේ විගනන පනත අදටත් ගේන්න දෙන්නෙ නැහැ. මොකද හොරා කැමති නැහැ විගනනය කරණවට. ඉතින් එවැනි දේවල් මේ රටෙන් තුරන් කරන තාක් කල් බොරුවට පෝය දා නිවාඩු දීල එහෙම නැත්තන් බුදුන් වැන්දයි කියල සෙතක් නැහැ. හොද දේවල් කියන්නෙ ඒ රටවල් වෙනම ක්‍රම වේදයන් ඇති කරල ඒ ක්‍රමවේදයන්වලට හැමෝම ගරුකරන හැමෝටම නීතිය එක හා සමානව බෙදෙනවනං එ්වගේම හැමෝටම සෑම ජාතියකටම මුස්ලිම් උනත් දෙමළ උනත් බර්ගර් උනත් මොන ජාතියක් උනත් අපි ඔක්කොම එකයි කියන තාක්කල් අපිට ඒ විදිහට හිතන්න පුළුවන් තාක් කල් කිසිම දෙයක් හොදක් සිද්ද වෙන්නෙ නැහැ.
බුදු දහමෙත් තියෙනව හේතුව සහ ඵලය කියල එකක්. ඵලය දුකයි. අදටත් මෙච්චර පිරිසක් මොකද ඕස්ට්‍රේලියාවට ගිහිල්ල තියෙන්නෙ. මෙච්චර පිරිසක් දගලන්නෙ මොකද ඕස්ට්‍රේලියාවට යන්න. මෙච්චර පිරිසක් මොකද කොරියාවට යන්න කොරියන් භාශාව ඉගන ගන්නෙ. මෙතන මොකුත් නැහැ. ඒකයි හේතුව. මෙතන දරුවන්ට කිසිම දෙයක් නැහැ. මගෙ දරුවන්ට නං තියෙනව. කිසි ප්‍රෂ්ණයක් නැහැ. සුනිල් අයිය යන් නැත්තෙ ඇයි කියල ඔයගොල්ලො ඇහුවොත් මට කියන්න තියෙන්නෙ ඒක.
එතකොට මොකද මෙතෙන්ට ආවෙ. මගේ දරුවො නෙවෙයි දරුවො කියන්නෙ.මුළු සෙසු සමාජයම ඉහලට එනකන් අසරනභාවය වෙනස් වෙනකං.මොකද ඡන්දෙකට බුරියානි පැකට් එකටයි පොඩි ටකරං කෑල්ලකටයි සිමෙන්ති කොට්ටෙටයි මිනිස්සු දුවන්නෙ. අසරන කම නිසා. ඒ අසරන භාවය අවුරුදු 70කට පස්සෙත් තුරන් වෙලා නැහැ. ඒ අසරන භාවය එතනමයි. ඉතිං මම ජේවීපී එකට මෙතනට ආවෙ මොකක්වත් නෙවෙයි මොකක්හරි වෙනසක් කරන්න මේ පක්ෂෙට ඡන්දෙ දෙන්නෙයි කියල මම කියන්නෙ. මේ කට්ටි දෙකට අවුරුදු 70ක් දුන්නනෙ. දැං අපෙ අම්මව නං වෙනස් කරන්න බැහැ. අම්මට මං ගිහිල්ල කිව්ව අම්මෙ මේ මේ පාර… උබ පලයං යන්න… ඒ ගොල්ලො වයසක කට්ටිය. ඉතිං ඒ ගොල්ලො කොහොමටවත් වෙන්ස් කරන්න බැහැ. නමුත් තරුණ පිරිස් ඉදිරියට යන්න නම් මේ රට ඉදිරියට ගෙන යාමට නම් යම් කිසි වෙනසක් කරන්න. අපි වෙනසක් කරල යම් කිසි ශක්තියක් ලබා දෙන්න බලන්න ඕන සමාජයේ වෙසෙන සියලු දෙනාටම. එහෙම නැතුව හෙට දවසෙත් වෙනසක් නෙකර ටකරමට ඡන්දෙ දානව නම් සිමෙන්ති කොට්ටෙට ඡන්දෙ දානවනම් සිල් රෙද්දට ඡන්දෙ දානව නම් ඒ රට අන්තිම අඩියම වැටිල පිරිහෙච්ච රටවල්.
දියුනු රටවල ඕස්ට්‍රේලියාවෙ මේ ජොනී වෝකර් බෝතලයක් දුන්න පිට්සා එකක් දුන්න කියල මීටින්වලට යන් නැහැ. මෙහේ මොකද මීටින්වලට ඔච්චර සෙනග එන්නෙ. එහෙම සෙනග ඉන්නෙත් අසරණ නිසා. දුප්පත් කම නිසා. ඉතින් ඒ දේ නැති කරන්න උත්සහ කරමු අපි. මේ ඡන්දෙදි ජනතා විමුක්ති පෙරමුණට …මමත් කවදාවත් දීල නැහැ. ඔය කියන පක්ෂ දෙකටම තමා දුන්නෙ. නමුත් Enough is enough කියනවනෙ ඉන්ග්‍රිසි භාශාවෙ දැං ඇති. දැං කවුරුහරි ඇවිල්ල ඇහුවොත් මොකද ඒ. මොකද ඒ නෙවෙයි 70ක් දුන්න. තවත් 30ක් ඕනිද 100ක් වෙන්න ඕගොල්ලන්ට. තව 100ක් දුන්න අපි ඊට පස්සෙ වෙනස් කරන්න ද? නැහැ. දැං ඇති. 70ක් දුන්න යම් කිසි වෙනසක් ඇති කරන්න අපිත් එක්ක අත්වැල් බැදගන්න. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වැල් බැද ගන්න. අපි බලමු වෙනසක් ඇති කරන්න මේ රටට. එහෙම නැත්තන් මේක අඩියටම ගිහිල්ල මිනිස්සු නැත්තටම නැති වෙනව. මේ සමාජයම නැතිවෙලා යනවා. ඉතිං විශේෂයෙන් මම කියන්න ඕන යමක් කමක් තියෙන සල්ලි තියෙන ව්‍යාපාර තියෙන ඒවයෙ සාර්ථකත්වය දකින අන්න ඒ උදවියට මම මේ කතාකරන්නෙ තියන නිසා එන්න මෙතෙන්ට.
මාට විතරක් තිබිල හරියන්නැහැ. තමාගෙ දරුව විතරක් පිට රට ඇරල හරි යන් නෑ.තමාගෙ ව්‍යාපාරය තමාගෙ නෝනට කාර් එකක් තිබුනට තමාගෙ දරුවට කාර් එකක් තිබුනට ඒක නෙවෙයි ජීවිතේ. ජීවිතේ එන්න එලියට මේ සෙසු සමාජෙම ගොඩග්නන එන්න අපිත් එක්ක අත්වැල් බැද ගන්න. වෙනසක් ඇති කරන්න බලමු.මේ පක්ෂ දෙක එලවලම දාන්න උත්සහ කරමු.එලවන්න පුළුවන්.හැබැයි තමුන්නාන්සෙල සියලු දෙනාම අපිත් එක්ක බද්ද වුනොත්. බොහොම ස්තුතියි.”
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා…
“පළාත් පාලන මැතිවරණය පැමිණ තිබෙන මෙවැනි අවස්ථාවක ජනතාවට මතක් කරන්න ඕනෑ ඉඳි කටුවේ සිට මහ බැංකුව දක්වා අපේ සම්පත්, ධනය කොල්ල කාලා, සදාචාරය පැත්තෙන් සංස්කෘතිය පැත්තෙන් රට ලොකු අනතුරක තියෙන තත්වයක අපි අද ඉන්න බව. අපි පැහැදිලිව දන්නවා සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය, කලාව මේ සියලුම අංශ ඉතාම නරක විදියට කඩා වැටිලා. අවුරුදු 70ක් පාලනය කරපු පක්ෂ දෙකම විසින් මේ රට අවසානයේදී ගෙනත් තිබෙන්නේ රටේ ශේෂ පත්‍රය බිංදුවටයි. උපදින්න ඉන්න දරුවගෙ සිට ණයකාරයන් බවට පත්කරලා. මේ රටේ ජනතාවට තවදුරටත් ඇඟිල්ලෙන් ඇහට ඇනලා පෙන්වා දිය යුතුද මේ ක්‍රමය පවත්වාගෙන ගියොත් මොකද වෙන්නේ කියන එක. පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා ශ්‍රී ලංකා යූඑන්පී කියලා බෙදී ඉන්න තරමට මේ පාලකයින්ට ජනතාව රවටන්න අවස්ථාව ලැබෙනවා.
ජනතාව පළාත් පාලන මැතිවරණයක අගය තේරුම් ගන්න ඕනෑ. තමන්ගේ ගමේ තිබෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් බුද්ධිමත් දක්ෂ අවංක දූෂණයෙන් තොර පිරිසක් තමයි පළාත් පාලන ආයතනවලට පත් කරන්න ඕනෑ. පහුගිය කාලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ කර තිබුණා හැම පළාතකම ප්‍රාදේශීය දේශපාලකයින් සිදුකරන තිබුණ දූෂණයන්. විවිධ නරුම කර්මානතවලට යොමුවෙමින් මේ රයේ සම්පත් මංකොල්ල කන පිරිසක් තමයි අද පළාත් පාලන ආයතනවලට පත්වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පෙන්වලා දීල තිබෙනවා තිස්සමහාරාමය ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව ලෙස දෙවරක් තේරී පත්වෙලා, කොහොමද ප්‍රාදේශීය සභාවක් හොඳම ප්‍රාදේශීය සභාවක් කරන්නේ කියලා. ජනතාවගේ ප්‍රශ්න, ළදරු පාසල්, කුණු ප්‍රශ්නවලට විසඳුම් ලබාදුන්නා. පොළ බද්ද ඉවත් කළා. ඒ නිසා අපි ජනතාවට මතක් කරනවා වංචාවෙන් දූෂණයෙන් තොර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් ඔබගේ පලාත් පාලන ආයතනවලට පත්කරන්න කියලා.”
ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය…
“කාන්තාවන්ට බලය වැඩිකරලා තිබෙනවා. බලය වැඩිකළාට වැඩක් නැහැ ජනතා හිතවාදී විදිහට බලය ක්‍රියාත්මක විය යුතුයි. ඡන්දය දෙන කාන්තාවන්ට මම යමක් කියන්න කැමතියි. අම්මලා විදිහට අපි දරුවන්ට හොඳම දේ දෙන්නයි කැමති. කෑම බීම දෙනකොට, පාසලක් තෝරගන්න කොට, ඇඳුමක් තෝරගන්න කොට, වෛද්‍යවරයෙකුට පෙන්වන කොට, අපි හොඳම දේ තෝරනවා. ඇයි අපි ඡන්දය ලබාදීමේදී හොඳම දේ තෝරන්නේ නැත්තේ? හිතලා බලන්න, කන් යොමලා, ඇස් යොමලා බලන්න මේ ප්‍රාදේශීය සභා නගර සභා අපිට මෙතෙක් ලබාදී තිබෙන්නේ මොනවාද? ඒවා සොයාබලා සන්සන්දනය කර බලලා ඔබම තීරණයක් ගන්න. තමන්ගේ නගර සභාව මගින් සෑම යටිතල පහසුකමක්ම අපිට ලබාදෙනවා නම් අපිට කොයි තරම් සහනයක්ද? මාතෘ සායන හදලා තිබුණට ඒවාට අවශ්‍ය පහසුකම් තියෙනවාද? පුස්තකාල ලබාදී තිබෙනවාද? ක්‍රිඩා පහසුකම් ඇති කර තිබෙනවාද? ක්‍රිඩා පහසුමක් නැති නිසා දරුවන් අයාලේ යනවා. අපේ ඡන්දේ අරන් ගිය අයට සුරසැප විඳින්න දීලා බලා ඉන්නේ නැතිව මේ වටිනා කතිරය හිතලා බලලා භාවිතාකර දරුවන්ට හොඳම දේ ලබාදෙන්න කටයුතු කරන්න.”
කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීන රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා…
“මම නාට්‍යකරුවෙක්. අද අපි මෙතනට ආවේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් වුවත් අපි මෙතනට ආවේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මිස කිසිම වරප්‍රසාදයක් ලබාගන්න නෙවෙයි. මේ පක්ෂය අපි දකින්නේ තවත් එක පක්ෂයක් ලෙස නෙවෙයි. අපි වෙනුවෙන් කතා කරන්න හඬ නගන්න තිබෙන එකම දේශපාලන ව්‍යාපාරයක් ලෙසයි. මේ හතරවැනිදාට නිදහසේ හැත්තෑවෙනි සමරුව පැවැත්වෙනවා. මේ කාලය තුළ මේ රටේ පාලකයින් මෙතෙක් කරපු දේවල් දැනගන්න ලැබෙන කාලයක් මේක. අපි යමක් කියන්න ඕන නැහැ මේ දෙගොල්ල දෙපැත්තට කියාගන්නා දේවල් වලින් හැමෝටම ඒ අයගේ කෙරුවාව දැනගන්න පුලුවන්. මේක හරිම උත්ප්රාසජනක සිදුවීම් සහිත කාලයක්.
දවසින් දවස අපේ ආර්ථිකය වගේම සංස්කෘතියත් අගාධයට යනවා. මෙතනින් රට ගලවා ගන්න, සියලුම මනුෂ්‍ය ජාතිය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා ඔබේ ඡන්දය, ඔබ වෙනුවෙන් හඬ නගන්න තිබෙන එකම පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණට දෙන්න. ගම වෙනස් කර රට වෙනස් කිරිම සඳහා අරම්භයක් ගන්න.”
“අපි අවුරුදු හැත්තෑවක් තිස්සේ තට්ටුමාරු ක්‍රමයට පක්ෂ දෙකකට රට සුරාකන්න ඉඩදී බලා සිටියා. මම හැමදාමත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දුන්න කෙනෙක්. 2005දි මහින්ද රාජපක්ෂ මහතා හෙල්පින් හම්බන්තොට මගින් හොරකම් කළා කියලා චෝදනා එල්ල වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයට මහ බැංකු බැඳුම්කර හොරකමක් ගැන චෝදනා එල්ලවෙලා තිබෙනවා. මේ දෙගොල්ලම කරලා තියෙන්නේ හොරකම තමයි. මම කතා කරන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් කියලා කියන අයටයි. මේ වතාවේ විතරක් අපේ රටේ පහළම පරිපාලන ආයතනය ජනතා විමුක්ති පෙරමුණට දීලා බලන්න. ඒ අයත් දූෂිතනම් ඇගිල්ල දිගු කරලා කියන්න. ඊට පස්සේ වෙනස් කරන්න. නැත්නම් පසුව තිබෙන මැතිවරණවලදිත් ඔවුන්ව තෝරගන්න.”