Gossips

දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි අමුතු සංග්‍රහයක්

දියණිය බැලීමට අවුරුදු නෑගම් ගිය මවක සහ පුතෙකු ගුටිබැට ප්‍රහාරයකට ලක්වී රෝහල් ගතකිරීමේ පුවතක් බදුල්ල – මීගහකිවුල – මීගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පහරකෑමට ලක්වු දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.
සිද්ධියෙන් තුවාල ලබා ඇති 33 හැවිරිදි තරුණයා යුද හමුදා සෙබළෙකු වන අතර, ඔහුගේ මව 51 හැවිරිදි වියේ පසුවනවා.
මීට මාස පහකට පමණ පෙර මෙම මවගේ බාලවයස්කාර දියණිය තරුණයෙකු සමඟ හොර රහසේ නිවසෙන් පිටව ගොස් ඇති අතර, වයස සම්පූර්ණ නොවීම හේතුවෙන් විවාහය ලියාපදිංචි කර තිබී නැහැ.
කෙසේ වෙතත්, අලූත් අවුරුද්දට දියණිය සිටි තරුණයාගේ නිවසට නෑගම් ගිය මවට සහ එම තරුණියගේ සහෝදරයාට එම නිවසේ සිටි ඥාතීන් පහරදී ඇත්තේ ඇය හොර රහසේ නිවසෙන් පිටවූ දිනයේ පොලීසිය දැනුම්වත් කළ බව පවසමින්.
අප මේ සම්බන්ධයෙන් මීගහකිවුල පොලිසියෙන් විමසීමක් කළා.
එහි නිලධාරියෙකු සඳහන් කළේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.