Gossips

දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස් කරන්නැයි නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

දුමින්දට වුනේ අසාධාරණයක්
වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවේ අඩුපාඩු රැසක්
සටහන් කළ සාක්ෂි පරස්පරතා 62 ක් සැලකිල්ලට ගෙන නැහැ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවම අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනය අද (27)දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.
එහිදී ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන් ලබා දුන් නඩු තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.
අභියාචනය විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.
එම නඩු තීන්දුව එක් විනිසුරුවරියක් සකස් කර ඇත්තේ දුමින්ද සිල්වා මහතා වැරදිකරු කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද අදාළ නොවන සාක්ෂි ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළ ජනාධිපති නීතීඥවරයා පැවසුවේ එම සාක්ෂිවල පරස්පරතා හා ඌණතා 62 ක් නඩු විභාගයේදී සලකුණු කළ බවයි.
තීන්දුව ලබාදීමේදී ඒවා සැලකිල්ලට ගෙන එහි වාසිය දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වයට ලබාදිය යුතු බවත් එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පැවසුවා.
ඊට අමතරව ජනාධිපති නීතීඥවරයා තර්කානුකූලව ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීම සඳහා ව්‍යාජ සිද්ධි නිර්මාණය කර ඇති බවයි.
ඊට අමතරව දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය අනෙක් පාර්ශවය විසින් ආරම්භ කර තිබුණ ද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.
ඔහු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අතර වැඩිදුර කරුණු දැක්වීම සඳහා පෙත්සම මැයි මස 8 වැනිදා යළි කැඳවීමට නියමිතයි.