Gossips

දුමින්දට නොනැමුනු, අර්ජුනට නැමෙන නීතිය ගැන තෙල් සේවකයන් ප්‍රශ්න කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සේවකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
ඒ, උඩුනුවර – ගෙළිඔය – කොස්සින්න පොදු සුසාන භූමියේදියි.
හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සිය ආරක්ෂකයින් සමඟ පසුගිය ඉරිදා පස්වරුවේ එම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් මොහු ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමටයි පියවර ගැනුනේ.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ උඩුනුවර – ගෙළිඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකු වන රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නැමති තෙල් සංස්ථා සේවකයෙක්.
වෙඩි තැබීම සිදුකළ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගත්තේ පෙරේදා පස්වරුවේයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහැරුණු අතර, ආරක්ෂක නිලධාරියා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අද පැවති අවමංගල්‍ය උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් එවා තිබූ අතර, එය අවමංගල සභාවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ විසින්.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම ඇතුලූ පිරිසක්ද එක්ව සිටියා.