Gossips

දුමින්දට දුන් තීන්දුව නිත්‍යානුකුල නෑ, සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් – නීතීඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා.
ඒ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි පරස්පර බව සහ කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කළ අභියාචනය අද සිව්වන දිනටත් විභාගයට ගැනුණා.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා සැලකිල්ලට නොගැනීම පිළිබඳව හේතු දැක්වීමක් නඩු තීන්දුවේදී සිදු නොකළ බවයි.
කෙසේ වෙතත්, ඌණතා හා පරස්පරතා සහිත සාක්ෂි මත පදනම් වී පුද්ගලයෙකු වැරදි කරුවෙකු කිරීමේදී ප්‍රවේසම් සහගත විය යුතු බව මීට පෙර නඩු තීන්දුවල සඳහන් බව ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා.
අධිකරණ සම්ප්‍රදායේදී පෙර නඩු තීන්දුවල සඳහන් කරුණු අනුගමනය කළත් දුමින්ද සිල්වා මහතා වැරදිකරුවෙකු කර ඇත්තේ ඒවා නොසලකා බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි පරස්පර බවත් කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් බවයි.
මෙවන් තත්ත්වයක් මත දුමින්ද සිල්වා මහතාට කිසිදු චෝදනාවකට දඬුවම් දීම නීත්‍යනුකූල නොවන බව ජනාධිපති නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සඳහන් කළා.
අභියාචනය විභාගයට ගත් මීට පෙර අවස්ථාවන්හිදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සදහන් කළේ සාක්ෂි හෝ කරුණු මත නොවල දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබා දී ඇති බවයි.
නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බව ඔහු සදහන් කළා.
එම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරු කළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කළා.
මේ අතර ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද සඳහන් කළේ කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.
ඔහු පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරයාගේ මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් ආරම්භ කර තිබුණද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.
ඔහු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
අභියාචනයේ වැඩිදුර විභාගය එළඹෙන 14 වැනිදා යළි සිදුකිරීමට නියමිතයි.