Gossips

දුමින්දගේ ඉවත්වීම 16යේ ජයක් බව ඩිලාන් කියයි

අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කිරිම තම කණ්ඩායම ලැබු ජයග්‍රහණයක් බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා.
ඊයේ (03) පැවති නිදහස් පක්ෂ විධායක සභා සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි 16 කණ්ඩායමේ නියෝජිතයින් කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තාවකාලික නිලධාරී මණ්ඩලයක් ඊයේ තෝරා පත් කර ගැනුණා.
ඒ අනුව පක්ෂයේ නව ලේකම්වරයා වන්නේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයි.
නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පත් කෙරුණේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම හරහා දහසයේ කණ්ඩායමේ එක් පරමාර්ථයක් ඉෂ්ඨ වූ බවයි.
මීළඟට ඇත්තේ ආණ්ඩුවෙන් නිදහස් පක්ෂය ඉවත් කිරීමේ කාර්යය බවද එය දුමින්ද දිසානායක මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමත් සමඟ වඩාත් පහසු වන බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවද පෙන්වාදුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වනතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ විපක්ෂයේ කටයුතු කරන බවයි.