Gossips

දුම්රිය සේවකයන් හදිසි වර්ජනයක – විරෝධය පළ කර මගීන් වීථි බසී

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද පස්වරුවේ හදිසි වර්ජනයක් ආරම්භ කළා.
ඉන් අපහසුතාවට පත් මගීන් කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මේ වනවිට කොටුව දුම්රිය ස්ථානයේ සහ මරදාන දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් පවතිනවා.
එසේම, මගීන් පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය අවහිර කිරීම නිසා පිටකොටුව අවට පවතින්නේ දැඩි රථවාහන තදබදයක්.
අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරු 03 ට හදිසි වර්ජනයක් ආරම්භ කළා.
ඊට දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමකයන් නියෝජනය කරන වෘත්තිය සමිති එක්ව සිටිනවා.
ඒ සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.
එහිදී තම ඉල්ලීම්වලට සාර්ථක විසඳුම් ලැබුණහොත් වර්ජනය අත්හිටුවීමටත් විසඳුම් නොලැබුණහොත් අඛන්ඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බවයි.
හදිසියේ වර්ජනය ආරම්භ කිරීමත් සමඟ දුම්රිය මගීන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි.
ඒ අනුව ඔවුන් කලබලකාරී ලෙස හැසිරුණු අතර, කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගයද අවහිර කළා.
මේ වනවිටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පවතින්නේ දැඩි නොසන්සුන් තත්ත්වයක්.
ඇතැම් මගීන් මාධ්‍යවේදීන්ටද එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය අද පස්වරුවේ තීරණය කළා.