Gossips

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන්ව තිබෙනවා.
ඒ හේතුවෙන් අද පෙරවරුවේ සිට දුම්රිය ප්‍රමාදයක් සිදුවූ බවයි වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති කියා සිටියේ.
දුම්රිය රියදුරන්ගේ ධාවන කාලසටහන් වෙනස් කිරීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණේ.
කෙසේ වෙතත්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම වර්ජනය නතර කර තිබෙනවා.
අදාළ කාලසටහන් වෙනස් කිරීම ඇතුළු තවත් ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් ලබන මස 12 වන දා තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද එහිදී එකඟත්වය පළ වුණා.
මේ අතර, පොළොන්නරුව – සෝමාවතිය ප්‍රධාන මාර්ගය අභයපුර ප්‍රදේශයෙන් අවහිර කරමින් අභයපුර මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
ඔවුන් ඉල්ලා සිටියේ විදුහලේ පවතින ගුරු හිඟය පියවීම සඳහා බලධාරීන් වහා පියවර ගත යුතු බවයි. කෙසේ වෙතත්, පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන් මෙම විරෝධතාව අවසන් වූ අතර පාසලට අවශ්‍ය ගුරුවරුන් කඩිනමින් ලබාදීමට ඔහු එහිදී එකඟතාවය පළ කර තිබෙනවා.