Gossips

දුම්රිය වර්ජනය 4 වන දිනටත් – කිසිදු දුම්රියක් අද ධාවනය නොකරන බව වෘත්තීය සමිති කියයි

දුම්රිය වැඩ වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේ දී කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තම සංගමය තීරණය කළ බවයි.
කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබූ වැටුම් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම හේතුවෙන් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ඇතුළු වෘත්තීය සමිති මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ පසුගිය 8 වන දා පස්වරුවේයි.
කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ ද දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.
දුම්රිය එන්ජින් රියදුරු සහායක සංගමය කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ අවසර හිමිවන්නේ නම්, දුම්රිය ධාවනය කිරීමේ හැකියාව තමන් සතුව පවතින බවයි.
මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යළි අවධාරණය කළේ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර, ගැටළු විසදා ගැනීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙසයි.
මෙම තත්ත්වය තුළ මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුර, මහව, හලාවත සහ රඹුක්කන දක්වා දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු යොදා තිබුණා.