Gossips

දුම්රිය වර්ජනය දිගු වෙයිද? තීරණය හෙට පෙරවරුවේ

බලධාරීන්ගේ සහ අනෙකුත් වෘත්තීය සමිතිවල හැසිරීම හේතුවෙන් හෙට පස්වරු 04 ට අවසන් කිරීමට සැලසුම් කර ඇති වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට පෙරවරු 10 ට සියලූම වෘත්තිය සමිති කැඳවා සිදුකරන බවයි එම කමිටුවේ සභාපති සම්පත් රාජිත කියා සිටියේ.
මෙම වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාදයන් සහිතව ධාවනය වූ අතර, ඒ හේතුවෙන් මගීන් පත්වුණේ දැඩි අපහසුතාවයන්ටයි.
දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ඊයේ පස්වරු හතරේ සිට පැය 48 ක මෙම සංකේත වර්ජනය ආරම්භ කළේ 12.1% කින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන මැදිරි හා සංඥා පද්ධති පරීක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ නිසා අද උදෑසන කාර්යාලීය දුම්රිය බොහොමයක් ප්‍රමාදයන් සහිතව ධාවනය වුණා.
වර්ජනයේ නිරත සේවකයින් මරදාන සහ දෙමටගොඩ ධාවනාගාරවල තිබූ දුම්රිය එන්ජින් කිහිපයකට මෙන්ම පුත්තලම දුම්රිය මාර්ගයේ ලූණුවිල සහ නාත්තන්ඩිය දුම්රිය ස්ථාන අතර කේබල් පද්ධතීන්ට හානිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ.
දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුවේ මෙම වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විරෝධය පළ කිරීමද විශේෂත්වයක්.