Gossips

දුම්රිය වර්ජනය දිගු නොකිරීමට වෘත්තිය සමිති තීරණය කරයි

දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ වර්ජනය දිගු නොකොට අද පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වර්ජනයේ නිරතව සිටින දුම්රිය තාක්ෂණ සේවාවලට අදාළ අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන්ට වහාම සේවයට වාර්තා කිරීමට දහවල් 12 දක්වා කාලය ලබාදෙන බවයි.
දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුවේ විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පැවතියේ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහායි.
මෙම කමිටුවේ සභාපති සම්පත් රාජිත හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ විධායක සභාව නියෝජනය කරන සිය සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් වර්ජනය දීර්ඝ කිරීමට විරුද්ධ වූ බවයි.
දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පෙරේදා පස්වරු හතරේ සිට පැය 48 ක මෙම සංකේත වර්ජනය ආරම්භ කළේ 12.1% කින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
මේ අතර සියයට 25 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා දිවයින පුරා සිටින ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් පස්වරු 1 දක්වා සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරතවනවා.