Gossips

දුම්රිය වර්ජනය අඛණ්ඩව – කාර්යාල දුම්රිය 8 ක් කොළඹින් පිටත් වෙයි

වැටුප් විෂමතා මුල් කරගනිමින් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද පස්වරුවේ රැස්වූ දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ ආරම්භ කළ වර්ජනයට අද පස්වරුවේ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අදාළ වෘත්තීය සමිති 05 ක්ද එක්වුණා.
කෙසේ වෙතත්, වර්ජනයට සහය නොදක්වන සේවකයින් යොදවා අද පස්වරුවේ කොළඹ – කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත, රඹුක්කන, මහව, ගාල්ල, අවිස්සාවේල්ල සහ මහනුවර බලා දුම්රිය ගමන්වාර 8 ක් ධාවනය කිරීමට පාලනාධිකාරිය පියවර ගත්තා.
කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඊයේ පස්වරුවේ කලහකාරී තත්ත්වයක් ඇතිවුණේ දුම්රිය වෘත්තීය සමිති හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන්.
දුම්රිය මගීන් පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් දිවෙන ඕල්කට් මාවත අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ අතර, කෝපයට පත්වූ ඔවුන් කොටුව දුම්රිය ස්ථානයේ දේපලවලටද හානි කළේ වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට විරෝධය පළ කරමින්.
වර්ජනය නිසා අද පෙරවරුවේ කිසිදු දුම්රියක් ධාවනය නොවූ අතර, ඒ හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මෙන්ම සංචාරකයින් සහ රාජකාරී සඳහා පැමිණෙන ජනතාවට සිදුවුණේ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් උපයෝගී කරගනිමින් සිය අවශ්‍යතා සපුරා ගැනීමටයි.
මෙම වර්ජනයට විරෝධය පළ කරන බවයි දුම්රිය තාක්ෂණ හා මෙහෙයුම් සේවා සංගමය සහ ජාතික දුම්රිය සේවා සමිතිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, වර්ජනයේ නිරත වෘත්තීය සමිති අද පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බලධාරීන් සිය ගැටලූවට විසඳුම් ලබානොදීම හේතුවෙන් අඛණ්ඩව වර්ජනය සිදුකරන බවයි.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද වර්ජකයින්ගෙන් ඉල්ලා සිටියේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් පිළිබඳ සලකා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මාර්ග අවසරපත් නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට ලබාදුන් අවසරය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
යුද හමුදාව සතු බස් රථ හමුදා සහය ඇතිව තවදුරටත් ධාවනයට යොදවා තිබෙනවා.
එසේම දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමටද අවස්ථාව සලසා දී ඇති බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඇතැම් ලංගම බස් රථ වල දුම්රිය ප්‍රවේශ පත්‍ර සහිත මගීන්ගෙන් මුදල් අය කරන බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.