Gossips

දුම්රිය මාර්ගයට ඇතුළුවීම ගැන පවතින නීතිය දැඩි වෙයි

දුම්රිය මාර්ගයට ප්‍රවිශ්ඨ වීම හා එහි ගමන් කිරීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිය ඉදිරියේදී තවදුරටත් බලාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නිසා දිනකට පුද්ගලයින් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන අතර, පසුගිය මාස දෙක තුළදී පමණක් මේ හේතුවෙන් පුද්ගලයින් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රියක ගැටී පාසල් සිසුවෙකුු සහ සිසුවියක ජිවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා.
මෙහිදී දුම්රියේ ගැටීමට ගිය සිසුවිය, සිසුවා විසින් බේරාගැනීමට උත්සහ කළ අවස්ථාවේ දෙදෙනාම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය පාසල් සිසුවා සිය පෙම්වතිය වන තවත් සිසුවියක සමඟ දුම්රිය මාර්ගයේ ගමන් කර තිබුණා. එහිදී ඔවුන්ගේ මිතුරියක වන අනෙක් සිසුවිය ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙම අවස්ථාවේ කොළඹ – කොටුවේ සිට ඇල්ල දෙසට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පසුපසින් පැමිණ ඇති අතර, එය දුටු සිසුවා ඔහු සමඟ ගමන් කළ සිය පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලූ කර ඉදිරියෙන් ගමන් කළ මිතුරිය බේරාගැනීමට උත්සහ කිරීමේදී දෙදෙනාම දුම්රියේ ගැටී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් දුම්රිය ආරක්ෂණ අධිකාරි අනුර ප්‍රේමරත්න කියා සිටියේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම දුම්රිය ආඥා පනතට අනුව නීතිවිරෝධී බවයි.
මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය ඇල්ල – ආරුක්කු පාලම අසලදී ගමන් ගන්නා දුම්රියේ දොරෙන් ඉවතට පැමිණ සිපගන්නා ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ප්‍රචාරය කළ පෘතුගාල පෙම් යුවළක් පිළිබඳව ෆොක්ස් නිව්ස් වාර්තාවක් මගින් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.
රඛෙල් සහ මිගෙල් යන එම යුවළ දෙලක්ෂයක් පමණ වූ සිය සමාජමාධ්‍ය අනුගාමිකයන්ට අනතුරුදායක සහ වැරදි ආදර්ශයක් ලබාදී ඇති බවයි එමඟින් සඳහන් කළේ.
කෙසේ නමුත් එම ඡායාරූපයට කැමැත්ත පළ කළ සංඛ්‍යාව 40,000 කට අධිකයි.