Gossips

දුම්රිය ගාස්තු සංශෝධනයක් අත ළඟ

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයට යොමුකර ඇති බව වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ දුම්රිය ගාස්තු තීරණය කිරීමේ කමිටුව මගින් අදාළ නිර්දේශ යොමුකර ඇති බවයි.
අදාළ කමිටුව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්, දුම්රිය වාණිජ අධිකාරී සහ දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයාගෙන් සමන්විතයි.
වසර 10 ක පමණ කාලයකින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුනොවී අතර, දුම්රිය ගාස්තු වැඩි කිරීම ප්‍රමාද වීම නිසා 2017 වසරේදී පමණක් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 670ක පාඩුවක් සිදුව ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සඳහා නිර්දේශ යොමුකර ඇතත්, මෙතෙක් ඊට අනුමැතියක් ලැබී නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ නමුත්, ලබන සැප්තැම්බර් 1 වන දා වන විට දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීමට හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.