Gossips

දුම්රිය ගාස්තු ඔක්තෝම්බර් 1 වන දා සිට ඉහළට

දුම්රිය ගාස්තු සංශෝධනය ලබන ඔක්තෝම්බර් 1 වනදා සිදුකිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.
පසුගිය අයවැය මගින් ගාස්තු සියයට 15 කින් වැඩි කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟයි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවා.
එහිදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් සහ පාලකවරුන්ගෙන් ගාස්තු සංශෝධනය පිළිබඳව වාර්තා කැදවූ බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
නව බස් ගාස්තු සහ ඉන්ධන වියදම් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව සංසන්දනය කරමින් මෙම නව ගාස්තු සංශෝධනය සකස් කර තිබෙනවා.
එහිදී දුම්රිය ගාස්තුව අයවැය මගින් තීරණය වූ සියයට 15 සීමාව ඉක්මවා ගිය අතර, පසුව අදාළ කමිටුව මගින් අයවැයේ තීරණයට අනුව ගාස්තු සියයට 15 ක් වැඩි කිරීමට තීරණය කළ බවයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒ අනුව නව දුම්රිය ගාස්තු නිර්දේශය ප්‍රවාහන අමාත්‍යාංශයට මේ මස මුල් සතියේදී යොමුකර තිබෙනවා.
ඊට අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති අතර, අදාළ ගාස්තු සංශෝධනයට මහා භාණ්ඩාගාරයේද අනුමැතිය හිමිව ඇති බව සඳහන්. ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති.
ඒ අනුව රුපියල් 10 ක් ව දැනට පවතින අවම දුම්රිය ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන අතර, එම අවම දුම්රිය ගාස්තු ප්‍රමාණය ගමන් කළ හැකි කිලෝමීටර 10 දුර ප්‍රමාණය කිලෝමීටර 7 දක්වා අඩුවනවා.
අනෙකුත් දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩිවන අතර, දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුද වැඩිවන බවයි අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.
වසර 10 ක පමණ කාලයකින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුනොවූ අතර, ගාස්තු වැඩි කිරීම ප්‍රමාද වීම නිසා 2017 වසරේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 670ක පාඩුවක් සිදුව ඇති බවටද අනාවරණ වී තිබෙනවා.