Gossips

දිවියෙකු පහරදීමෙන් 10 දෙනෙකුට තුවාල – ප්‍රදේශවාසීන් එක්ව දිවියා මරාදමයි ( ඡායාරූප)

කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් දිවියාට පහරදී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
පසුගියදා ගම් වැදුනු දිවියා ප්‍රදේශවාසීන්ට පහරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබුනා.
කෙසේවෙතත් එම නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදු කළ ද දිවියා අල්ලා ගැනීමට හැකිවී නැහැ.
අද උදෑසන වනජීවී නිලධාරීන් දිවියා අල්ලා ගැනීමට යළි පැමිණ තිබුන ද ඔවුන් ප්‍රමාද බවට ප්‍රදේශවාසීන් චෝදනා කිරීම හේතුවෙන් නිලධාරීන් යළි පිටත්ව ගොස් ඇතැයි සඳහන්.
අනතුරුව අද පෙරවරුවේ ද ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුට දිවියා පහරදී තිබෙනවා.
තවත් පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් දිවියාට පහරදී මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.
දිවියාගේ පහරදීමට ලක්වූ පුද්ගලයන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඡායාරූප – වව්නියාව මාධව කුලසුරිය / දිනසේන රතුගමගේ