Gossips

දිවයින පුරා තවදුරටත් වැසි – ආපදා මරණ 7 දක්වා ඉහළට – දස දහසකට පීඩා – නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) දිනයේත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලටත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති අතර, දස දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ නිල්වලා, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වනවිට පහත බසිමින් පවතින බවයි.
අධික වර්ෂාවත් සමඟ දියවන්නා ඔය පිටාර මට්ටමක පැවතීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ භටයින් 60 දෙනෙකු යෙදවීමට කටයුතු කළා.
ඒ අනුව ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස වැලි කොට්ට යොදා බැම්මක් සකස් කිරීමට පියවර ගැනුනා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අලුත්ගම – මතුගම මාර්ගය ජලයෙන් යටවීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගය වැලිපැන්න අන්තර් හුවමාරුව මේ වනවිට යළි විවෘත කර තිබෙනවා.
ඉදිරි කාලගුණ තත්වය පැහැදිළි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය හෙට (10) දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බවයි.