Gossips

දිවයිනට පැමිණි පසු පිළිතුරු දීමට, අමල් සූදානමින්

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මුළුමනින්ම මුදා හැරීමක් හෝ ලිහිල් දඬුවමකට යටත්ව නැවත ලංකාවට පැමිණෙනු ඇතැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන 27 වන දා ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමඟ තමන් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, ලංකාවට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවත් අමල් පෙරේරා සඳහන් කළ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි සිට හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම, පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සහය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන පරීක්ෂණ කණ්ඩායම පත්කර ඇති බව ද ඊයේ වාර්තා වුණා.
ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඇතුළත්.
ආරක්ෂක ලේකම්වරයා විසින් පත් කර ඇති මෙම නිලධාරින් පිරිස බොහෝදුරට නිලධාරීන් පස් දෙනෙකුගෙන් හෝ හය දෙනෙකුගෙන් සමන්විත වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, හිටපු පාතල නායක ෆාජිගේ දෙවන බිරිඳ වන සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටි තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කොටහේන – මෛත්‍රී බෝධිරාජ මාවතේ පිහිටි නිවසේදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ඇය පෙරේදා රාත්‍රියේ තුවාල ලැබුවා.
පසුව අනාවරණ වුණේ මෙම ප්‍රහාරය ඉම්රාන්ගේම ගෝලයෙකු විසින් සිදුකර ඇති බවටයි.