Gossips

දියතලාව බස් බෝම්බයෙන් පසු අතුරුදන් වූ පුද්ගලයා යළි පැමිණේ

හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 කට තුවාල සිදුකළ බණ්ඩාරවෙල – දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් ප්‍රචාරයන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසනවා.
සිද්ධියෙන් පසුව තුවාල ලැබූ පුද්ගලයෙකු දියතලාව රෝහලෙන් පලාගොස් ඇති බවටයි ඇතැම් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත්, සිදුව ඇත්තේ පිපිරීමෙන් පසුව, දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු එම පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇති බවටයි.
ඔහු දියතලාව – ඇල්ලේගම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වනවා.
එම පුද්ගලයාගෙන් ද පොලීසිය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
බස් රථයෙහි ගමන් කළ හමුදා සාමාජිකයෙකු සතුව තිබූ ජීව අත්බෝම්බය පුපුරා යාම ඊට හේතුවී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 17 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, පොලීසිය සදහන් කළේ දියතලාව රෝහලේ දැනට බරපතල තත්ත්වයේ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගෙන් හැර බස් රථයේ සිටි අනෙකුත් සියලූදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.