Politics Sri Lanka

දියතලාව බස්රථයෙ පිපිරී ඇත්තේ යාපනයේ සිට පැමිණි සෙබලෙකු ගෙනා අත් බෝම්බයක්… ඇසින් දුටුවෝ සියල්ල හෙළිකරයි…

දියතලාව බස්රථයෙ පිපිරී ඇත්තේ යාපනයේ සිට පැමිණි සෙබලෙකු ගෙනා අත් බෝම්බයක්… ඇසින් දුටුවෝ සියල්ල හෙළිකරයි…

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදි මගී බස් රථයක් තුළ අත් බෝම්බය පුපුරා ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සියළු තොරතුරු හෙළිවෙමින් තිබේ.

පසුගිය 21 වැනිදා සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මෙම පිපිරීමෙන් බරපතල ලෙස තුවාල ලබා පාදයක්ද අහිමිව සිටින හමුදා සෙබලා විසින් යාපනයේ සිට ගෙන ආ අත්බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.

මෙම සෙබලාගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන මෙම අත්බෝම්බ ගෙනැවිත් ඇති අතර එය සාක්කුවෙන් එළියට ගෙන බෑගයට දමද්දී අත්වැරදීමකින් මෙය පුපුරා ගොස් ඇත.

අදාල බෝම්බය සාක්කුවෙන් පිටට ගන්නා අවස්ථාවේ එහි “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබේ.

මේ සිද්ධිය බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් දැක ඇති අතර ඔවුන් ඒ සියල්ලු තොරතුරු පොලිසියට පවසා ඇත.

බෝම්බය මේ ආකාරයට මාරු කිරීමට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සෙබලා විසින් අදාල බෝම්බය ඔහු සේවය කරන කඳවුරෙන් සොරාගෙන එන්නට ඇති බවට සැක පල කරන අතර ඔහු අසාධ්‍ය තත්ත්වය නිසා තවමත් මේ ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හැකි වී නැත.

බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත.

ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා වේ.

යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගිනිනිවීමේ ඒකක, යුදු හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් බස්රථයේ සැලකියයුතු කොටසක් පිළිස්සී ඇත.

මෙම බෝම්බය පිපිරීමත් සමග එක්තරා පිරිසක් මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් බස් රථයේ සිටි හමුදා සෙබලුන් ඉලක්කකර සිදු කළ ප්‍රහාරයක් බවත් සමාජාල තුළ ප්‍රචාරය කරන්නට වූ අතර එම පිරිස තුළ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද පිල නියෝජනය කළ අපේක්ෂකයන්ද සිටීම විශේෂත්වයකි.

මූලාශ්‍ර දෙරණ