Gossips

දියණිය කලා ඔයට දැමූ මව රිමාන්ඩ්

සිව් හැවිරිදි තම කුඩා දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඇය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. ද සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී තමන් පොලීසියට ලබාදුන් පාපොච්චාරණය පිළිගන්නා බව සැකකාර මව අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණා.
දියණිය තමන්ට වඩා මිත්තණියට ආදරය කරන බව පැවසීමෙන් හට ගත් කෝපය නිසා තමා සිය දියණියට පා පහරක් එල්ල කළ බවත්, ඉන් ඇය සිහිසුන්ව ඇද වැටුණු බවත්, මව සිය පාපොච්චාරණයේදී ප්‍රකාශ කළා.
අනතුරුව දැරිය කලාඔයට දැමූ බවයි ඇය සඳහන් කර තිබුණේ.
මේ අතර, දැරියගේ සිරුර සොයා අද 7 වන දිනටත් විල්පත්තු වනෝද්‍යානය සහ කලාඔය ආශ්‍රිත ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.
මේ අතර වේයන්ගොඩ – නයිවල ප්‍රදේශයේ පිහිටි විනෝද උද්‍යානයක සවි කර තිබූ කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටී මවක සහ දියණියක මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම උද්‍යානයේ හිමිකරු ඇතුලු හයදෙනා ද මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එහිදී කඩාවැටුණු කතුරු ඔංචිල්ලාවේ තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉංජිනේරු සංස්ථාවට සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අත්තනගල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.