Gossips

දියණිය අපයෝජනය කළ, පියා සහ බාප්පා අත්අඩංගුවට

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම 15 හැවිරිදි දැරිය සිය මිත්තණියගේ නිවසේ සිටි අවස්ථාවේදී මෙලෙස අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්වී ඇති බව සඳහන්.
දැරියගේ මව සහ පියා නිත්‍යානුකූලව වෙන්ව ඇති අතර, ඇය සිය මිත්තණියගේ නිවසේ ද, ඇයගේ සොහොයුරා පියා සමඟ ජීවත් වන බවටයි වාර්තා වන්නේ.
මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වනවා.
දැරිය මිත්තණියගේ නිවසේ සිටින අවස්ථාවේදී බාප්පා නිවසට පැමිණ ප්‍රථමයෙන් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
පසුව ඇයගේ පියා ද දැරිය අපයෝජනයට ලක් කර තිබෙනවා.
දැරියගේ ඥාති සොහොයුරියක් ඒ පිළිබදව ඇගේ මවට පැවසීමෙන් අනතුරුවයි සිද්ධිය පිළිබද අනාවරණ වී ඇත්තේ.
පසුව පොලීසිය පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සේවය කළ නාවික හමුදා සෙබලියක් සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිය දිවි හානි කර ගැනීමට පෙර ඇය විසින් ලියන ලද ලිපියට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ.
22 හැවිරිදි ඇය පෙරේදා දිනයේදී නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අවස්ථාවේදී නිවසෙහි ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණා.
එලෙස සිය දිවි හානි කර ගැනීමට පෙර ඇය විසින් ලියන ලද ලිපියේ සටහන් කර ඇත්තේ සිය නාවික හමුදා කදවුරේම සේවය කරන හමුදා සෙබලියකගේ කරදර ඉවසීමට නොහැකි නිසා මෙලෙස සිය දිවි හානි කර ගන්නා බවටයි.
තමන් නිවාඩු ලැබ නිවසට පැමිණීමට සූදානම්ව සිටින අවස්ථාවේදී එම නාවික හමුදා සෙබලිය ඇයට තර්ජනාත්මක ප්‍රකාශයක් ද සිදුකර ඇති බවටයි ඇය විසින් ලියන ලද ලිපියේ සඳහන් වී ඇත්තේ.