Gossips

දින 25කට පසු නැවත නිවසට ආ භූමදාන කළ දියණිය

කළු ගඟේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අතුරුදහන්ව සිටි තම දියණියගේ බවට මව්පියන් විසින් හඳුනාගැනීමෙන් පසු නිවසට රැගෙන ගොස් භූමදාන කර තිබිය දී දින කිහිපයකට පසු ඇය නිවසට පැමිණි පුවතක් වාර්තා වී තිබෙනවා.
විසිඅට හැවිරිදි ඇය දරුවාද සමඟ අතුරුදන්ව සිට ඇති අතර ඇය නැවත නිවසට පැමිණ තිබුණේ දරුවා ද සමඟින්.
ඉමෝ තාක්ෂණය ඔස්සේ හඳුනාගත් තරුණයෙක් සමඟ ඇති කර ගත් සම්බන්ධතාවක් මත ඔහුත් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හල්වල තමා නැවතී සිටි බවයි ඇය පොලිසියට පවසා ඇත්තේ.
ඉකුත් 10 වන දා කළු ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන කාන්තාවකගේ සිරුරක් කළුතර පොලිසිය විසින් ගොඩගෙන නාගොඩ රෝහලේ තැන්පත් කර තිබුණා.
පසුව අතුරුදන්ව සිටි කාන්තාවගේ පියා පැමිණ අදාළ සිරුර තම දියණියගේ වන බවටයි හඳුනාගෙන ඇත්තේ.
අදාළ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා තිබුණු අතර මරණයට හේතුව පසුව දක්වන බව සඳහන් වුණා.
අදාළ කාන්තාවගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 24 වන දා පොලිසියට පැමිණිලි කර තිබූ අතර මෙසේ නැවත ඇය නිවසට පැමිණ තිබුණේ දින 25 කට පසුවයි.