Gossips

දින 17කදී පාතාලයේ 11ක් අත්අඩංගුවට

ඩුබායි හිදී පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් සහ කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ ගෝලයින් 11 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මාකඳුරේ මධුෂ් සමඟ දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමා කෙනෙකු වන අල රංජි නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 21 වන දායි.
ඒ ප්‍රදේශයේ පිහිටි වාහන නැවතුම්පලක් අසලදීයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් සහ මන්නා පිහි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
ඊට අමතරව ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය 18 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු චරිදු චනිල්ක සංකල්ප හෙවත් රයිනා නමින් හඳුන්වන 24 හැවිරිදි අයෙක්.
කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී පසුගිය 17 සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මොහුට චෝදනා එල්ල වනවා.
මේ අතර, ඩුබායි හි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙරටින් පොලිස් කණ්ඩායමක් පිටත් කර හැරීමට තවමත් තීරණය කර නොමැති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.