Gossips

දින නියමයක් නොමැතිව රජරට විශ්වවිද්‍යාලය වසා දැමේ

රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (21) සවස පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වී බලහත්කාරයෙන් එහි රැදී සිටීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සදහන් කළේ.
මේ හේතුවෙන් නේවාසිකාගාරවල සිටින සිසුන් අද පෙරවරු 10ට පෙර ඉන් පිටවන ලෙසට පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.
මේ වනවිට පන්ති තහනමකට ලක්ව සිටින රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් සහ දැනට සිසුන් මුහුණපා ඇති ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් උපකුලපතිවරයා මහාශිෂ්‍ය සංගමයට ඊයේ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.
එම සාකච්ඡාවට තම සාමාජිකයින් ගිය අවස්ථාවේ උපකුලපතිවරයා වෙනත් ආචාර්යවරයෙකු ඊට සහභාගි කරවූ බවයි මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
ඊට විරෝධය පළ කරමින් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීමත් සමග විශ්වවිද්‍යාලය වසා දමන බවට පාලනාධිකාරිය තමන්ට දැනුම්දුන් බවයි එහි සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් සදහන් කළේ.
මේ අතර, ලබුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිසුවියන් 4 දෙනෙකු සහ සිසුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නවක වදයට ලක් වූ සිසුවිය අක්මීමන පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.