Gossips

දින දෙකක් තද සුළං

දිවයින හරහා ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ සුළෙඟ් වේගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට බලපා ඇති මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටීම් සහ නිවාසවලට හානි සිදුවීම් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ සහ අද අලූයම හමා ගිය සුළඟකින් හැටන් සහ වටවල ප්‍රදේශවල නිවාස රැසකට හානි සිදුවුණා.
එමෙන්ම නාවලපිටිය – කැටඹුලාව ප්‍රදේශයේ නිවාස 14 හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් නිසා ප්‍රදේශ රැසකට විසන්ධි වු විදුලිය යථා තත්ත්වයට පත් කිරිම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ සහ බදුල්ල යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වු අතර ඒ හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 14,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වූ බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට බලපා ඇති මෙම සුළං සහිත කාලගුණ තත්ත්වය ලබන 31 වනදා දක්වා බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා ඉහළ යා හැකි වනවා.