Gossips

දිගම්බරම් – මනෝ ඇතුලූ පිරිස ආණ්ඩුවෙන් ඉවත්වෙයිද ?

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට අදාළව හෙට දිනයේදී වතු සමාගම් සමඟ සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.
ඊට අදාළව අද පස්වරුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, එහි දිගුවක් ලෙසයි වතු සමාගම් සමඟ හෙට සාකච්ඡා සිදුකරන්නේ.
කෙසේ වෙතත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම පිළිබදව අවසන් තීරණයක් ගන්නා බවයි.
එසේ වුවහොත් ඒ පිළිබඳව හෙට හෝ අනිද්දා තම දේශපාලන මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියා.
අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම් සහ වී. රාධාක්‍රිෂ්ණන්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සම නායකවරුන් වනවා.
එම සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6 ක්.
රුපියල් දහසක් දක්වා වැටුප වැඩි කරන ලෙස වතු කම්කරු වෘත්තිය සමිති මෙන්ම සිවිල් සංවිධාන අරගල කළද පසුගියදා අත්සන් කළ ගිවිසුුමේදී තීරණය කෙරුණේ එය රුපියල් 700 දක්වා වැඩි කිරීමටයි.
කෙසේ වෙතත් එම ගිවිසුමට පසුව පාර්ශව ගණනාවකින් විරෝධය එල්ලවුණා. එම පාර්ශව අතර, රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද වනවා.