Gossips

දැරියක අපයෝජනය කල පුද්ගලයෙකුට එරෙහිව විරෝධතාවක්

අවුරුදු 11 ක දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට පිරිසක් ඊයේ (10) විරෝධතාවක නිරත වුණා.
උද්ඝෝෂකයන් මුණ ගැසුණු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ වරද ඇත්තේ පොලීසිය පාර්ශ්වයේ නොව අධිකරණයේ බවයි.
පෑලියගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකදී 53 හැවිරිදි එහි හිමිකරු විසින් වෙළඳ සැලට පැමිණි 11 හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කර ඇති බව පසුගිය ඉරිදා අනාවරණය වී ඇත්තේ අදාල දැරිය සිදු කළ පාපොච්චාරණයකින් අනතුරුවයි.
මසකට ආසන්න කාලයක් එම දැරිය අවස්ථා කිහිපයකදී සැකකරු විසින් අපයෝජනයට ලක් කර ඇති බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
විමර්ශනවලින් අනතුරුව පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය සඳුදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.
ඊට විරෝධය පල කරමින් අපයෝජනයට ලක්වූ දැරියගේ මව්පියන්, ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රී පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ සැකකරු මුදා හැරුණේ පොලිස් නිලධාරීන් අධිකරණයට නිසි පරිදි කරුණු වාර්තා නොකළ බවට චෝදනා කරමින්.