Gossips

දහසේ වැටුප ඉල්ලා වතුකම්කරුවන් කළුකොඩි ඔසවා අදත් විරෝධයේ (ඡායාරූප)

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා නෝර්වුඞ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් අද කළුකොඩි ඔසවා විරෝධතාවයක නිරත වුණා.
නෝර්වුඞ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අයර්බි මංසන්ධියට අද උදෑසන පැමිණි කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර, මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය 15 වනදා සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එය එකඟතාවයකින් තොරව අවසන් වුණා.
වතුකම්කරුවන්ට දැනට දෛනිකව ගෙවනු ලබන වැටුප රුපියල් 530 සිට 600 දක්වා වැඩි කර සියලු දීමනා සමඟ එම වැටුප 940 දක්වා වැඩි කිරීමට හාම්පුතුන්ගේ සංගමය එම සාකච්ඡාවේදී ඉදිරිපත් කළ යෝජනාව වතු ඒකාබද්ධ වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ වෙතත්, වතු අධිකාරිවරුන් පවසන්නේ ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ තේ සඳහා පවතින මිල සහ නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ නොහැකි බවයි.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)