Gossips

දහස් සංඛ්‍යාත ජනතා සුබපැතුම් මැද, හිරු සුපර් ඩාන්සර් කිරුළ දිනූ, තිනේෂිකා නිසල්යා උපන්ගමට

පුංචි නැට්ටුවන් පිරිවරා ගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, හිරු සුපර් ඩාන්සර් තරගයේ කිරුළ දිනා ගත් තිනේෂිකා නිසල්යා දහස් සංඛ්‍යාත ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ අද ඇයගේ උපන් ගම වන කඩවත – සූරියපාළුව ප්‍රදේශයට පැමිණියා.
දගකාර පොඩිත්තන්ගේ නර්තන දක්ෂතා සමඟින් අනාගත ටෙලිවිෂන් වංශ කථාව ලියන්නට හිරු සුපර් ඩාන්සර් රියැලිටි නර්තන තරගාවලිය මීට මාස 9කට ඉහත දී ඇරඹුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
තම සිහින තුරුළු කර ගනිමින් රටේ සිව් දෙසින් පැමිණි පුංචි නැට්ටුවන් 5000කට අධික පිරිසක් අතරින් 5 දෙනෙකු හිරු සුපර් ඩාන්සර් අවසන් වේදිකාවේ තරඟ වදින්නට සුදුසුකම් ලැබුවා.
සිතුම් මලීෂ, ජනිදු චමත් කුමාර, රිසලි සනුලියා, ටිෂාල් පන්සිලූ සහ තිනේෂිකා නිසල්යා අවසාන මහා තරඟයේදී සිය දක්ෂතා පෙන්වූ අතර, ඔවුන්ගෙන් වැඩිම ජනතා මනාපයෙන් සුපිරි දක්ෂයා බවට පත්වූයේ තිනේෂිකා නිසල්යායි.
හිරු සුපර් ඩාන්සර් අති උත්කර්ශවත් ප්‍රාසාංගික රාත්‍රිය නෙළුම්පොකුණ රඟහලේදී දියි.
ප්‍රවීන සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය කියා සිටියේ මෙරට රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම නවකයන් වෙනුවෙන් අවස්ථාවක් ලබාදීමට ආසියානු මාධ්‍ය ජාලය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවයි.
විචිත්‍ර නර්තන අංග සහ අවසන් තරඟකරුවන් පස් දෙනාගේ දස්කම්වලින් හැඩ වූ හිරු සුපර් ඩාන්සර් අවසන් තරඟයේ පස්වන ස්ථානය දිනා ගත්තේ සිතුම් මලීෂ විසින්.
සිව්වන ස්ථානය සහ තෙවන ස්ථානය පිළිවෙලින් රිසලි සනුලියා සහ ටිෂාල් පන්සිලූ දිනා ගත්තා.
ජනිදු චමත් කුමාර හිරු සුපර් ඩාන්සර් තරඟයේ දෙවන ස්ථානය හිමිකර ගත් අතර, ප්‍රේක්ෂක මනාපය මත හිරු සුපර් ඩාන්සර් කිරුලට හිමිකම් කියනු ලැබුවේ තිනේෂිකා නිසල්යා යි.
හිරු සුපර් ඩාන්සර් ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමනු ලැබුවේ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී වින්සන්ට් ද සිල්වා විසින්.
හිරු සුපර් ඩාන්සර් කිරුළ හිමිකරගත් තිනේෂිකා නිසල්යාට රුපියල් ලක්ෂ 23 ක් වටිනා මෝටර් රථයක්, ලැප්ටොප් පරිගණකයක්, මවුන්ටන් බයිසිකලයක් මෙන්ම නර්තන ශිෂ්‍යත්වයක්ද හිමිවුණා.
අවසන් වටයේ තරග වැදුණු ඉතිරි සිව් දෙනාටම මුදල් ත්‍යාග මෙන්ම මවුන්ටන් බයිසිකල්, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී, තෑගි වවුචර් සහ නර්තන ශිෂ්‍යත්ව පිරිනැමුණා.
හිරු සුපර් ඩාන්සර් තරගයේ කිරුළ දිනා ගත් තිනේෂිකා නිසල්යා අද ප්‍රථමයෙන් පැමිණියේ ඇය ඉගෙනුම ලබන කිරිබත්ගොඩ – විහාරමහාදේවි විද්‍යාලයටයි.
එහි පැමිණීමට ප්‍රථම කිරිබත්ගොඩ නගරයේ දී ද ඇයව පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.
කිරිබත්ගොඩ – විහාරමහාදේවි විද්‍යාලයට පැමිණි තිනේෂිකා, පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගමය එක්වයි.
විදුහලේ උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව ඇය කඩවත නගරය පසු කරමින් දහස් සංඛ්‍යාත ජනතාවගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ සිය උපන් ගමට පැමිණියා.
කඩවත – ගනේමුල්ල මාර්ගය ඔස්සේ විශේෂ රථ පෙළපාලියකින් පැමිණි ඇයට මඟ දෙපස රැදී සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
සිය උපන් ගම වෙත පැමිණි තිනේෂිකා නිසල්යා වෙනුවෙන් සූරියපාළුව – බංගලාවත්ත ක්‍රීඩාංගණයේ හිරු ජංගම වේදිකාවක් මත විශේෂ සංගීත ප්‍රසංගයක් ද සංවිධාන කර තිබුණා.